Best News Website award
brand logo
logo
ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපනයක් භාවිත කළ තරුණියකගේ වකුගඩුවලට දැඩි හානි

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපනයක් භාවිත කළ තරුණියකගේ වකුගඩුවලට දැඩි හානි

24 November 2026

17 හැවිරිදි තරුණියක භාවිත කළ රූපලාවන්‍ය ආලේපනයක් නිසා ඇගේ වකුගඩුවලට දැඩි හානි සිදුවීමේ පුවතක් ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.


ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීමත් සමග එම නිෂ්පාදකයන්ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි.


මුහුණේ කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කරගැනීම සඳහා සමාජ මාධ්‍ය දැන්වීමක් මඟින් මෙම ආලේපනය මිලදී ගෙන ඇති ඇය, එය භාවිත කිරීමෙන් පසු හිසරදය, ක්ලාන්තය සහ සිරුර ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. අනතුරුව රෝහල්ගත කළ තරුණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත්තේ ඇගේ වකුගඩුවල රේචන පද්ධතියට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.


අදාළ ආලේපනය පරීක්ෂා කිරීමේදී එහි අනුමත ආරක්ෂිත මට්ටම මෙන් 12,500 ගුණයකටත් වඩා වැඩි රසදිය (Mercury) ප්‍රමාණයක් අඩංගු බව තහවුරු වී ඇත. සම හරහා සිරුරට අවශෝෂණය වූ මෙම විෂ සහිත රසදිය නිසා ඇගේ වකුගඩු අක්‍රිය වීමේ දැඩි අවදානමක් මතු වූ අතර, මාසයක පමණ නේවාසික ප්‍රතිකාරවලින් පසු ඇය මේ වන විට නිවසේ සුවය ලබමින් සිටී.


මෙම සිදුවීමත් සමඟ ප්‍රමිතියෙන් තොර සහ නොමඟ යවන සුළු රූපලාවන්‍ය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ යළිත් දැඩි සංවාදයක් මතුව තිබේ.

 

More News..