brand logo
logo
 බුද්ධශාසන සභා රැස්වීමේදී තීරණ රැසක්

බුද්ධශාසන සභා රැස්වීමේදී තීරණ රැසක්

20 October 2026


බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය ලැබි ඇති නමුත්, එම නීතිය ප්‍රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31ක හෝ සංඝ සභාව එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළයුතු බවට මහා සංඝරත්නය විසින් යෝජනා කර තිබේ.


ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ (පාර්ශ්ව 31) සහභාගීත්වයෙන් අද (20) බුද්ධශාසන අමාත්‍යාංශ "දහම්පය" පරිශ්‍රයේ දී පැවති බුද්ධශාසන සභා රැස්වීමේදී මෙම එකඟතාව පළ විය.


පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ පැනනැගී ඇති කාරණා පිළිබඳව මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා ලබා ගැනීම සහ ඒ වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දැනුවත් කිරීම මෙම සභාවේ සුවිශේෂී කාරණාව විය.


මෙම හමුව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ සභාපති මෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා විසින් මෙහිදී කමිටු යෝජනා මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කරමින්, පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.


විශේෂයෙන්ම, බන්ධනාගාරගත කරන ලද භික්ෂූන් වහන්සේ නමක් නැවත අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවකදී හෝ වෙනත් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් බැහැරට ගෙනයාමේදී චීවරය සහිතව ගෙනයාම අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක විය යුතු බවට වන යෝජනාව මෙහිදී ඉදිරිපත් කෙරිණි.


එහිදී මහා සංඝරත්නයේ පවසා ඇත්තේ මෙම නීතිය ප්‍රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය පාර්ශ්ව 31ක හෝ සංඝ සභාව එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය.

 

More News..