brand logo
logo
"මට ලංකාවට දෙන්න තියෙන්නෙ තව රන් පදක්කම් දෙකයි" - රුමේෂ් තරංග

"මට ලංකාවට දෙන්න තියෙන්නෙ තව රන් පදක්කම් දෙකයි" - රුමේෂ් තරංග

06 August 2026 | නදුන්ක නෙත්සර

වසර 20කට පසු මෙරටට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනාදුන් හෙල්ල විසි කිරීම ශූර රුමේෂ් තරංග, ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් දිනා දීමට ඉතුරුව ඇත්තේ රන් පදක්කම් දෙකක් බවත්, ඒ අසියානු ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් රන් පදක්කම් බවත්, ඊයේ (5 වැනිදා) කොළඹදී පැවැති පොදුරද මඩුලු ජයග්‍රාහණ සැමරුම් උත්සවයේදී සඳහන් කළේය.


රුමේෂ් සහ පැරා කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් රිදී පදක්කම් දිනූ පාලිත බණ්ඩාර පිළිගැනීමේ රථ පෙළපාළියක් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධාන කර තිබිණි. රථ පෙළපාළිය ටොරිංටන් සිට බොරැල්ල, මරදාන, ටවුන් හෝල් හරහා නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමෙන් අනතුරුව එහිදී සැමරුම් උත්සවය ඇරැඹිණි. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ රුමේෂ්, "ඉන්දීය කොඩි දෙක මැදින් අපේ පුංචි ලංකාවේ කොඩිය එසවුණා වගේම ජාතික ගීයත් ගායනා කෙරුණා. රටට රන් පදක්කමත් ලැබුණා ඒ ගැන ගොඩක් සතුටුයි. මම බලාපොරොත්තු වුණේ තරගාවලි වාර්තාව. නමුත් කාලගුණය ලොකු බලපෑමක් වුණ නිසා වාර්තාව අලුත් කරන්න බැරි වුණා. දැනට ලෝකෙ තියන හොඳම තරගාවලි 3ක් තමයි, පොදුරාජ්‍ය මණ්ඩල, ආසියානු ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික්. තරගාවලි 3න් මේ වෙනකොට මම එකක් ජයග්‍රහණය කළා. තව තරගාවලි දෙකයි මට ලංකාවට ජයග්‍රහණය කරලා දෙන්න තියෙන්නේ. අනිවාර්ය‍යෙන් එම ජයග්‍රහණය දෙකම ශ්‍රී ලංකාවේ නම ඉදිරියේ සටහන් කරනවා. ආසියානු වාර්තාවටත්, ඊළඟට ලෝක වාර්තාවටත් යන්න තමයි එකම බලාපොරොත්තුව" යනුවෙන් ප්‍රකාශ කළේය.


පාලිත බණ්ඩාර ද අදහස් දක්වමින් යුද හමුදාව ඇතුළු සහයෝගය දුන් සැමට ස්තූතිය පුද කරන්නට යෙදිණි. අනතුරුව පිරිස අමතමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මෙරට ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් රුමේෂ් ඇතුළු ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය සියල්ල සිදු කරන බවට පොරොන්දු වන බව ප්‍රකාශ කළේය. එමෙන්ම රුමේෂ් ඇතුළු ක්‍රීඩකයන් එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් කිහිපයක් දිනා ගනු ඇති බවද, ශ්‍රී ලංකාව මෙතෙක් දුටු සිහිනය 2028 ඔලිම්පික් උළෙලේදී රුමේෂ් සැබෑ කරනු ඇතැයි විශ්වාස කරන බවද පැවසුවේය.


රුමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න සහ පාලිතගේ පුහුණුකරු ප්‍රභාත් ධනුෂ්ක, රුමේෂ්ගේ දෙමව්පියන්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඇතුළු පිරිසක් එම සැමරුම් අවස්ථාවට එක්ව සිටියහ.

 

More News..