සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කරයි
28 July 2026
සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කරයි
28 July 2026
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන සාරානාත් ස්මාරකය, නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මෙය මෙම ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ 45 වැනි ස්මාරකය බව සඳහන් වේ.
අප තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කොට පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව එනම් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ සාරානාත් පුදබිමේ දීය.
බුද්ධත්වයට පත්වීමෙන් පසු, බුදුරජාණන් වහන්සේ තමන් වටහාගත් සත්‍යය ලෝකයාට දේශනා කිරීමට තීරණය කළ අතර, ඒ සඳහා බරණැස අසල පිහිටි සාරානාත් වනය තෝරා ගත්හ.
වරනාසියේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි සාරානාත් පුදබිම අද වන විටත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතුව සංරක්ෂණය කර ඇත.
බුදුන් වහන්සේ ප්‍රථම දම්සක් දෙසුම පූජා කළ ස්ථානය සනිටුහන් කරන ධමේඛ ස්ථූපය , මුලගන්ධකුටි විහාරය සහ චෞඛණ්ඩි ස්ථූපය මෙහි විශේෂ ස්ථාන ගනී.
ක්‍රිස්තු පූර්ව 273ත් 232ත් අතර කාලයේදී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද සිංහ ස්තම්භය මෙහි ඇති තවත් වැදගත් අංගයකි.
එහි ඇති සිංහ මූර්තිය වර්තමානයේ ඉන්දියාවේ ජාතික ලාංඡනය ලෙස භාවිත කෙරේ.
මේ අතර, සාරනාත් පුද බිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැප වී කටයුතු කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජයට සහ යුනෙස්කෝ මහලේකම් Khaled El-Enany මහතාට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාවය පුද කරන බව, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්, 1931 සාරනාත් පුදබිමේ මූලගන්ධිකුටි විහාරය ඉදිකොට සියවස් ගණනාවක් සැඟවී තිබූ මෙම පුදබිම යළි ලෝක බෞද්ධ ජනතාවට උරුමකර දුන්නේය.
ශ්‍රීමත් ධර්මපාලතුමන් හෙවත් සිරි දේවමිත්ත ධම්මපාල හිමියන් ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීමට සහ දඹදිව පූජනීය බෞද්ධ පුදබිම් ආරක්ෂා කිරීමට ගෙනගිය දැවැන්ත මෙහෙවර අවසාන සහ වඩාත්ම අධ්‍යාත්මික අවධිය උන් වහන්සේ ගත කළේ සාරනාත් පුද බිමේය.
ශ්‍රීමත් ධර්මපාලතුමන් පැවිදි දිවියට ඇතුළත්ව උපසම්පදාව ලැබුවේ ද අවසානයේ අපවත් වූයේ ද සරනාත් පුදබිමේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බානගල උපතිස්ස නා හිමියන් පැවසුවේ, "යටපත් දී තිබූ ධම්මික ස්තූපය හෙවත් ධමෙක් ස්ථූපය 1835-36 කාලයේදී මතු කර ගනු ලැබූයේ ශ්‍රීමත් අලෙක්සැන්ඩර් කණින් හැම් මහතාය. පැවිදිවීම සඳහා දඹදිවට ගිය මා බරණැස මහාබෝධි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවේ ද සාරනාත් පුදබිමේ සිටය. එකල එහි පුරාවිද්‍යා කැණීම් කළ මනි නැමති මා හිතවත් පුරාවිද්‍යා නිලධාරියෙකි. ඔහු කැණීම් කරන ආකාරය මම හැමදාම බලාගෙන හිටියා. පසු කලක පුරාවිද්‍යා උපාධිය කිරීමට මට ආසාව ඇති වූයේ ඔහු එම කැණීම් කටයුතු කරන අයුරු දැකීමෙන්" යනුවෙනි.

