brand logo
logo
රිය අනතුරු පුවත් සිරස්තල පමණක්ද?

රිය අනතුරු පුවත් සිරස්තල පමණක්ද?

25 August 2026

ඉකුත් "සති අග අරුණ" පුවත්පතේ "මේ වසරේ රිය අනතුරු 1654 කින් මරණ 1749 ක්" මැයින් ප්‍රවෘත්තියක් පළවී තිබුණේය. මෙහිදී අපේ සිතට නැගුණේ අපේ ජීවිත කාලය තුළ මෙබඳු ප්‍රවෘත්ති සිරස්තල කොතෙකුත් දැක තිබේද යන්නය. එහෙත් එය විනාඩි කීපයකින් කියවා ඊළඟ විනාඩි කීපයේදී අමතක කර දමනවාට වැඩි දෙයක් අප කරන්නේ නැත.


2024 අවුරුද්දෙන් පසු අපේ රටේ දියුණුව ගැන මේ ආණ්ඩුවේ නායකයෝ හා අනුගාමිකයෝ කොතෙකුත් පුරසාරම් කියති. එය මේ ආණ්ඩුවට පමණක් සීමාවූ රෝගයක් නොවේ. තම තමන්ගේ ආණ්ඩු සමයන්හි රට ලැබූ දියුණුව ගැන රට කරවූ අනෙකුත් පක්ෂවල ඇත්තන්ද උදම් අනනු අපට අසා පුරුදුය.


එහෙත් මේ කිසිවකුත් තමන්ගේ පාලන සමයේදී රටේ රිය අනතුරු අඩු වූයේ යැයි හෝ අඩු කළේ යැයි හෝ නොකියති. බොරුකීම පුරුද්දක් කරගත් දේශපාලනඥයන් පවා එබඳු බොරුවක් කියන්නේ නැත. ඒ රිය අනතුරු හා ඉන් සිදුවන මරණ අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙනු මිස අඩු නොවන බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන නිසා විය යුතුය.


ගිය අවුරුද්දේ (2025) අපේ රටේ මාරක රිය අනතුරු 2597 ක් සිදුවී තිබේ. ඉන් මියගිය ගණන 2746 කි. මේ අවුරුද්දේ දැනට වාර්තා වී ඇති ගණන් අනුව මේ අවුරුද්දේ රිය අනතුරු හා ජීවිත හානි ගණන පසුගිය අවුරුද්ද ඉක්මවා යනු ඇති බව පැහැදිලිය.


මේ ගණන්හිලව්වලට අනුව එක දවසකදී රිය අනතුරුවලින් මියයන සංඛ්‍යාව හතක්, අටක් පමණ යැයි පෙන්නුම් කෙරෙයි. මේ හත් අට දෙනා ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්ට හා රිය අනතුරට සම්බන්ධ පාර්ශ්වයන්ට හැර අනෙක් සියලු දෙනාට ඉලක්කම් ටිකක් පමණි. දවසකට මේ තරම් ප්‍රමාණයක් මහපාරේ මියයෑම රටේ පාලක, පාලිත කිසිවකුටත් ප්‍රශ්නයක් බව පෙනෙන්නට නැත.


අද මේ රට කරවන්නන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලයයි. විපක්ෂය හා ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත් කලද එහි වෙනසක් නැත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කිරීමෙන් රටේ රිය අනතුරු හා ඉන් සිදුවන මරණ වළක්වා ගත නොහැකිය.


වසර 2028 වන විට විදේශ ණය ඩොලර් බිලියන 14 ගෙවීමෙන් පසු රට ගෙනයන්නේ කෙසේ දැයි නොසිතා විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය ගැන සිතීමේ විහිළුව ගැන අපි ඊයේ මේ තීරුවෙහිලා පෙන්වා දුනිමි. රටුන් ජීවත් කරවන ආකාරය ගැන නොසිතන ආණ්ඩුවක් රිය අනතුරුවලින් මිනිසුන් මියයෑම ගැන කරදර නොවීමේ පුදුමයක් නැත. කෙසේවුවත් එය මේ ආණ්ඩුවට පමණක් දොස් කිව යුතු මෙතෙක් පැවැති ආණ්ඩු නිදොස් වන කාරණයක් නොවේ.


අප ඉහත සඳහන් කළේ මාරක රිය අනතුරු ගැන පමණය. සුළු අනතුරු ගණ⁣යට වැටෙන රිය අනතුරුද සමග දවසකට රිය අනතුරු සියයකට වැඩි ප්‍රමාණයක් සිදුවේ යැයි ගණන් බලා තිබේ. ඒ අනුව අවුරුද්දකට දළ වශයෙන් රිය අනතුරු 38,000ක් පමණ රටේ සිදුවේ යැයි සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.


රිය අනතුරු එපමණ සංඛ්‍යාවක් සිදුවෙද්දී ඉන් එක අවුරුද්දකදී මියයන සංඛ්‍යාව දළ වශයෙන් 2500-3000ත් අතර වේ. අපේ රටේ තිස් අවුරුද්දක් තිස්සේ පැවැති සිවිල් යුද්ධයේදී අති විශාල පිරිසක් අකාලයේ මරණයට පත් වූහ. එහෙත් එකදු අවුරුද්දකදීවත් ඒ ගණන රිය අනතුරුවලින් එම අවුරුද්දේ මියගිය සංඛ්‍යාවට වැඩි වූයේ නැත.


රිය අනතුරු වැළැක්වීම හා අඩුකිරීම සඳහා පොලිසිය ද නොයෙකුත් දෑ අඩුවැඩි වශයෙන් කරන බව ඇත්තය. අධික වේගයෙන් රිය ධාවනය, මත්පැන් භාවිත කර වාහන පැදවීම, ආරක්ෂක පටි හා හෙල්මට් භාවිත නොකිරීම ගැන රථවාහන පොලිසිය අවධානය යොමු කරන්නේ නැතැයි කියන්නට ද බැරිය. එහෙත් එය හරිහැටි කෙරෙන්නේ නැති බවද ඒ තරමටම සැබෑය.


මීට හොඳම උදාහරණය මෝටර් සයිකල් ධාවකයන් හෙල්මට් නොපැළඳීම හා දෙදෙනකුට වැඩි ගණනක් සමග ධාවනයේ යෙදීමය. කොළඹ නගරයේදී පවා පොලිස් නිලධාරීන්ගේ ඇස්පනාපිට මේ නීති උල්ලංඝනය කෙරෙන බව කවුරුත් දනිති. එසේ ගත් කල නගරවලින් බැහැර ප්‍රදේශවල තත්ත්වය ගැන කියනුම කවරේද?


මුළු ලෝකයේම සිදුවන රිය අනතුරු ගැන සලකා බැලීමේදී දියුණු යැයි සම්මත රටවලින් වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාව ඉන් සියයට 8 ක් පමණය. ඒ රටවල අවුරුද්දකදී සිදුවන රිය අනතුරු ප්‍රමාණය මෙන් තුන්ගුණයක් අපේ වැනි රටවල සිදුවේ යැයි ගණන් බලා තිබේ. එසේ ගත් කල රටක දියුණුව සැලකෙන ප්‍රධාන සාධකයක් වන්නේ ඒ රටේ සිදුවන රිය අනතුරු ප්‍රමාණයයි.


රටේ දියුණුව ගැන වහසි බස් දොඩවන දේශපාලනඥයන්ගෙන් මේ කාරණය ගැන සැලකිල්ල යොමුකරන ලෙස අපි ඉල්ලා සිටිනු කැමැත්තෙමු. ඇති නැති ප්‍රශ්න ගැන නොනවත්වා කතා කරන ඔවුන් කිසිවකුත් රටේ රිය අනතුරු අඩුකරගැනීම ගැන සැලකිල්ලක් දක්වන බවක් රටට පෙනී යන්නේ නැත. ඒ සඳහා රියැදුරන් හා මගීන් දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් නැතුව ඉන් කවදාවත් ගොඩඑන්නට බැරිය.

 

More News..