brand logo
logo
SLS නැති වතුර බෝතල් සහ වයර් කෝඩ් විකිණූ වෙළෙඳසැල් දෙකකට රු. 240,000ක දඩයක්

SLS නැති වතුර බෝතල් සහ වයර් කෝඩ් විකිණූ වෙළෙඳසැල් දෙකකට රු. 240,000ක දඩයක්

13 October 2026

SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ප්ලාස්ටික් පානීය බෝතල් සහ විදුලි දිගු රැහැන් අලෙවි කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් බණ්ඩාරවෙල වෙළෙඳසැලකට සහ නිට්ටඹුවේ සමාගමකට එරෙහිව රුපියල් 240,000ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගොනු කර තිබූ නඩුවට අදාළව ඔක්තෝබර් 7 වැනිදා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම දඩ මුදල නියම කර ඇත.


අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් 2026 සැප්තැම්බර් 24 වැනිදා සිදුකළ වැටලීමකදී, දේශීයව නිෂ්පාදනය කරන ලද ලීටර් 1.2ක නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් පානීය බෝතල් අදාළ SLS 1616 ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව රුපියල් 295 බැගින් අලෙවි කරන බව අනාවරණය වී තිබේ.


අදාළ ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව බෝතල් අලෙවි කිරීම සහ අලෙවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැලටත්, එම බෝතල් නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් නිෂ්පාදන සමාගමටත් චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව, අදාළ ප්‍රමිති සහතික ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් අලෙවියට ඉදිරිපත් කිරීම සහ බහලුම් මලු සඳහා මුදල් අය නොකිරීම සම්බන්ධයෙන්ද වෙළෙඳසැල් පාර්ශ්වයට චෝදනා එල්ල කර තිබේ.


නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් පානීය බෝතල් සම්බන්ධයෙන් 2026 ජූනි 10 වැනිදා නිකුත් කළ අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 96 දරන විධානය සහ බහලුම් මලු සම්බන්ධයෙන් අංක 95 දරන විධානය යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇත.


විත්තිකරුවන් චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් 240,000ක දඩ මුදලක් නියම කර තිබේ.

මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ මිල සහ පෙනුම පමණක් නොව, අදාළ ප්‍රමිති සහතික හා ආරක්ෂක අවශ්‍යතා සපුරා තිබේද යන්න පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත් බවයි.


එමෙන්ම, පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකිය.

 

More News..