ආසාවෙන් හිටපු හීනයක් ළඟදීම සැබෑවෙනවා
29 September 2026 | රුවන් එස්. සෙනවිරත්න
ආසාවෙන් හිටපු හීනයක් ළඟදීම සැබෑවෙනවා
29 September 2026 | රුවන් එස්. සෙනවිරත්න
මෑත කාලයේ අපේ රටේ ඉන්න නිළියන් අතුරින් ජනප්‍රිය නිළියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. 2016 වසරේ ‘පාටක් නැති ආදරයක්’ චිත්‍රපටය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඇගේ රංගන දිවියට මේ වසරට වසර 10 ක් සපිරෙනවා. ඒ දසවසර පුරාවට චතූ තමන්ගේ ජනප්‍රියත්වය එකම මට්ටමෙන් පවත්වාගෙන එන්නත් සමත්වුණු නිළියක්. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ ‘මීෂා’ ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබෙන චතූ, කලක පටන් දැකපු සිහිනයකුත් ඔන්න ළඟදීම සැබෑවෙන්න යනවලු
අපි ‘මීෂා’ ටෙලි නාට්‍යයෙන්ම මේ කතාබහ ආරම්භ කරමු නේද?
ඔව්, මේ දිනවල මම රංගනයෙන් දායකවෙන අලුත් ටෙලි නාට්‍යය තමයි ‘මීෂා’. ඒක නිවන්ත ප්‍රසාරගේ නිර්මාණයක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන එහි කොටස් 50කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොටත් පෙන්නලා අවසන්.
ඉදිරියේදි ඔබව දකින්න ලැබෙන වෙනත් නිර්මාණ මොනවද?
සිනමාව පැත්තෙන් ගත්තොත් දැනට වී. සිවදාසන් මහතා අධ්‍යක්ෂණය කළ ‘දූවිලි දරුවෝ’ චිත්‍රපටය සහ තවත් චිත්‍රපටයක වැඩ අවසන් වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය පැත්‍තෙන් ගත්තමත් දැනට ටෙලි නාට්‍ය කීපයකම වැඩකටයුතු කරගෙන යනවා. එයින් එක ටෙලි නාට්‍යයක රූගතකිරීම් මේ වෙනකොට ඩුබායිවල වෙනවා. ඒක ප්‍රගීත් මනියංගම අයියා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යය. ඒ වගේම මං හරිම ආසාවෙන් භාරගත්ත නිර්මාණයක් තමයි ‘රිදී’ ටෙලි නාට්‍යය. මොකද ඒ ටෙලි නාට්‍යය හරහා මට කාලයක ඉඳන් දැකපු සිහිනයක් සැබෑ කරගන්න අවස්ථාවක් උදාවුණා.
‘රිදී’ ටෙලි නාට්‍යය හරහා සැබෑ වෙන චතූගේ සිහිනය මොකක්ද?
මං රෙද්ද හැට්ටේ ඇඳලා ගැමි චරිතයක් කරන්න ලොකු ආසාවකින් හිටියා. ඒත් ගෙවුණු අවුරුදු 10 පුරාවටම මට එහෙම චරිතයකට ආරාධනා ලැබුණේ නෑ. ඒත් ‘රිදී’ ටෙලිනාට්‍යයේ මට ඒ අවස්ථාව ලැබුණා. මේ වෙලාවේ මං ඒක අධ්‍යක්ෂණය කරන චන්දන ඉරුගල්බණ්ඩාර අයියා, තිර රචනය කරපු අරුණ ප්‍රේමරත්න අයියා සහ නිෂ්පාදක අංජුල අමරසිංහ අයියා මතක් කරනවා. මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ රන්දික කඩවතආරච්චිගේ ‘රිදී’ නවකතාව ඇසුරෙන් ඒ ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නේ.
දැන් ඔබ රංගනයට පය තියලා හරියටම අවුරුදු 10 ක් වෙනවා. මොකද හිතෙන්නේ?
මං රංගනයට ආවේ 2016 අවුරුද්දේ. මම මුලින්ම රඟපෑවේ වී. සිවදාසන් මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘පාටක් නැති ආදරයක්’ කියන චිත්‍රපටයේ.
එදා චතූට නිළියක් වෙන්න ලැබුණෙත් හරි අහම්බෙන්ලු නේද?
ඇත්තටම මං පුංචි කාලේ හීන දැක්කේ නර්තන ගුරුවරියක් වෙන්න. හරි අහම්බෙන් තමයි නිළියක් වෙන්න ලැබුණේ. එක සැරයක් මම අවුරුදු උත්සවයක් බලන්න ගියා. ඒ 2016 අවුරුද්දේ. ඒකට ස්වාධීන රූපවාහිනියේ අනුර ජයසේකර අයියා ඇවිදින් හිටියා. එදා එයාගේ කැමරා ෂොට්ස් කීපයකට මාව අහුවෙලා තිබුණා. පස්සේ ඔහු මං ළඟට ඇවිත් මං රඟපාන්න කැමැතිද ඇහුවා. නර්තන ගුරුවරියක් වෙන්න හීන දැකපු මට නිළියක් වෙන්න පාර කැපුණේ එතැනින්.
ඒ කියන්නේ ඒ තරමටම චතූට නර්තනය ගැන ආසාවක් තිබිලා. එහෙමද?
ඔව්, පාසල් යන කාලේ මං ආසම වගේම දක්ෂම විෂය වුණේ නැටුම්. මට මතකයි ඒ කාලේ මං පාසල තුළ ප්‍රසිද්ධ වෙලා තිබුණෙත් "නැටුම් කරන චතූ" කියලා.
එදා නර්තනය අත්හැරිලා නිළියක් උනු එක ගැන පසුතැවීමක් එහෙම නැද්ද?
අනේ නෑ. නිළියක් වුණු නිසා මට ජීවිතේ හුඟාක් දේවල් ලැබුණා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ තමයි ඒ අතුරින් ලැබුණු වටිනාම දේ. ඒක නිසාම කිසිම පසුතැවීමක් නෑ.
වෙනත් නිළියන්ට සාපේක්ෂව චතූ ෆැෂන් කරන විදිහත් ටිකක් වෙනස්. ඒ ගැන කිව්වොත්?
මං එදා ඉඳන්ම ෆැෂන් කළේ චරිතයට හානියක් නොවෙන්න. කවදාවත් මං හිතුමනාපෙට ෆැෂන් කරලා නෑ. ඒක ඉස්සරහටත් එහෙමයි. හැමදේම මං කරන්නේ දෙතුන් සැරයක් හිතලා බලලා මට ඒක ගැළපෙනවා නම් විතරයි.
චතූ කියන්නේ වෘත්තීන් කීපයකම දකින්න ලැබුණු චරිතයක්?
ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් මම කාලයක් කටයුතු කරලා තියෙනවා.
ඒ අතුරින් අපහසුම වෘත්තිය මොකක්ද?
ප්‍රවෘත්ති කියන එක. ඒක වගකීමක් අරගෙන කළ යුතු අභියෝගාත්මක කටයුත්තක් විදිහට මං දකිනවා.
සාමාන්‍යයෙන් ඔබ විවේකය ගතකරන්න කැමැති කොහොමද?
මං හරි ආසයි ලස්සන තැන්වල ඇවිදින්න. ඒක නිසා යාළුවොත් එක්ක ට්‍රැවල් කරන වෙලාවල් තියෙනවා. ගෙදර හිටියොත් චිත්‍රපටයක් වගේ බලනවා. සිංදු එහෙම අහන වෙලාවලුත් නැතුව නෙවෙයි.
මේ දිනවල චතූ කැමැතිම සිංදුව මොකක්ද?
සංඛ දිනෙත්ගේ ‘විදුලිය සේ ඔබ ඇවිදින්’ කියන සිංදුවටයි, අංජලී හේරත්ගේ ‘ආදරේ පාට දෑසක්’ කියන සිංදුවටයි කැමැතියි.
රසට උයන්න පුළුවන් කියලත් දැනගන්න ලැබුණා?
ඔව්, රසට උයන්න පුළුවන්. මං හදන කෑම කාපු හැමෝම කියනවා මගේ කෑම හරි රසයි කියලා.
ඔබට ගෙවුණු ජීවිතේ එක තැනක් වෙනස් කරගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ වෙනස් කරගන්න තැනක් තියෙනවද?
ජීවිතේ මේ දක්වාම වුණු දේවල් නිසා තමයි මං මෙහෙම තැනක ඉන්නේ. මේ ඉන්න තැන ගැන මට තෘප්තිමත්. ඒ නිසා වෙනස් කරගන්නේ නෑ.
අවසාන වශයෙන් චතූට තියෙන අනාගත බලාපොරොත්තු මොනවද?
ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ. නිළියක් විදිහට ප්‍රේක්ෂක ආදරෙත් පරිස්සම් කරගෙන චරිතාංග නිළියක් විදිහට රංගන ක්ෂේත්‍රය තුළ තව ඉදිරියට යන එක තමයි බලාපොරොත්තුව.

