ආහාරයට ගන්නා තෙල් වර්ග ඇසුරුම් කිරීමට නීති
31 July 2026 | සාලිය කුමාර
ආහාරයට ගන්නා තෙල් වර්ග ඇසුරුම් කිරීමට නීති
31 July 2026 | සාලිය කුමාර
පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුකර තිබෙන බවත්, ඊ ට අදාළ නීතිමය කටයුතු මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලූස් පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පවතින බැවින් පොල්තෙල් බෝතල්වල හෝ ඇසුරුම්කර අලෙවි කිරීමට අදාළව නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වැවිලි අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරනු ලැබුවේ ඉකුත් වසරේ (2025) මැද භාගයේදීය.
පොල් තෙල් ඇසුරුම් කර විකිණීම සම්බන්ධව අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා නිකුත් කිරීම සම්බන්ධවද පසුගිය කාලයේදී සාකච්ඡා පැවැත්විණි. කෙසේ නමුත් මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කෙරෙන බව අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේය. අසල්වැසි ඉන්දියාවේද පොල්තෙල් ලූස් වශයෙන් අලෙවි නොකරන බවත්, එරට තුළ පොල්තෙල් අලෙවි කෙරෙන්නේ ඇසුරුම් කිරීමෙන් පසුව බවත් අදාළ නිලධාරියා කියා සිටියේය. මෙම නීතිය පොල්තෙල්වලට පමණක් නොව පාම් තෙල් ඇතුළු ආහාරයට ගන්නා අනෙකුත් තෙල් වර්ගවලට අදාළවද ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද අවධානය යොමුවී තිබෙන බවත්, බොහෝ දුරට මෙම නීතිය මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් ඔහු කීවේය.

