brand logo
logo
යොවුන් ආසියානු කුසලාන තරගාවලිය අද ශ්‍රී ලංකා තරගයෙන් ඇරැඹේ

යොවුන් ආසියානු කුසලාන තරගාවලිය අද ශ්‍රී ලංකා තරගයෙන් ඇරැඹේ

05 November 2026


මෙවර ඕමානය සත්කාරකත්වය දරන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (5 වැනිදා) ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයෙන් ඇරැඹීමට නියමිතය.


තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් තරගවදින අතර ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමගින් 'බී' කාණ්ඩයට අයත් වේ. ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය යන කණ්ඩායම් 'ඒ' කාණ්ඩයට අයත් වෙති.


ශ්‍රී ලංකාව විරාන් චමුදිතගේ නායකත්වයෙන් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙන අතර එහි උපනායකත්වය සෙනුජ වෙකුණගොඩට හිමිව ඇත. ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය අනිද්දා (7 වැනිදා) බංග්ලාදේශය සමග පැවැත්වීමෙන් අනතුරුව මූලික වටය යටතේ ක්‍රීඩා කරන අවසන් තරගය 9 වැනිදා ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වීමට නියමිතය.


තරගාවලියේ මූලික වටයට තරග 12ක් ඇතුළත්වන අතර කාණ්ඩයන්ගේ පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් එළැඹෙන 12 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. අනතුරුව අවසන් මහා තරගය 14 වැනිදා පැවැත්වීමට සැලසුම්කර තිබේ. සියලු තරග ඕමානයේ අල් අමෙරට් ක්‍රීඩාංගණයේ Turf 1 සහ Turf 2 යන පිටිවල ක්‍රීඩා කිරීමට නියමිත අතර අද ශ්‍රී ලංකා තරගය මෙරට වේලාවෙන් උදෑසන 10.30ට යෙදී ඇත.

 

More News..