brand logo
logo
සේවකයන් පාලකයාගේ වහලුන් බවට පත්කිරීමට ආණ්ඩුව දැන් උත්සාහ කරනවා

සේවකයන් පාලකයාගේ වහලුන් බවට පත්කිරීමට ආණ්ඩුව දැන් උත්සාහ කරනවා

03 September 2026 | සංවාදය - සෙව්මිණි වාසල

වර්තමාන ආණ්ඩුව වෘත්තීය සමිති අකර්මණ්‍ය කර, ඒ වෙනුවට සේවක සංසද පිහිටුවීමේ උත්සාහයක යෙදීසිටින බවට වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය චෝදනා කරයි. ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග නිසා වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු වන බවද එම සංගමය පෙන්වා දෙයි. ඒ පිළිබඳව වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත සමග "අරුණ" කළ සාකච්ජාවකි මේ.


වර්තමාන ආණ්ඩුව වෘත්තීය සමිති අකර්මණ්‍ය කරලා ඒ වෙනුවට සේවක සංසද පිහිටුවීමේ උත්සාහයක යෙදී සිටිනවා කියලා වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය කියනවා. මොකක්ද ඒ කතාව?


වර්තමාන ආණ්ඩුව බලයට ඇවිත් මාස 23කුත් ගත වුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දෙවතාවක් වැඩි කරනවා කියලා බලය ගැනීමට පෙර ජාතික ජන බලවේගයේ පිරිස කිව්වා. බලයට ආ පසුව ඒ කිසිම පොරොන්දුවක් මේ ආණ්ඩුව ඉටු කළේ නෑ. ඒ වෙනුවට දැන් ආණ්ඩුව කම්කරු අයිතීන් කප්පාදු කරන්න හදනවා. පැය අටක සේවා කාලය අහෝසි කරලා ඕනෑම රාත්‍රි සේවයක කාන්තාවන් යොදවන්න පුළුවන් කම්කරු නීතියක් තමයි දැන් ආණ්ඩුව ගේන්න හදන්නේ. රාජපක්ෂ යුගයේ රොෂේන් චානක ජීවිතය දීලා බේරගත්ත සේවා අර්ථසාධක අරමුදල හා භාරකාර අරමුදල කියන අරමුදල් දෙකම එක පරිපාලනයකට අරගෙන මුදල් අමාත්‍යාංශය යටතේ රිසි සේ හසුරුවන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. එපමණක් නොවෙයි,


ජාත්‍යන්තර කම්කරු සංවිධානය නොමග යවමින් පාලකයාට වුවමනා විදිහට කටයුතු කරන 70 ගණන්වල තිබුණු කම්කරු සභා වැනි පාලක සංසද ඇති කරන්නත් මේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම සියලු ආයතනවල බඳවාගැනීම් හා උසස්වීම් අත්තනෝමතික ලෙස වෙනස් කරලා තියෙනවා. 22වෙනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය නැති කරලා දාන්නත් ආණ්ඩුව සැලසුම් කරනවා. යුරෝපා සංගමය එපා කියන දේවල් කරලා GSP+ සහනය පවා අහිමි කරගෙන, කර්මාන්තශාලා වැසී යාමට ඉඩ හැරලා, සේවකයන්ව පාලකයාගේ වහලුන් බවට පත්කිරීමේ උත්සාහයකයි දැන් ආණ්ඩුව නිරතවෙලා ඉන්නේ. ආණ්ඩුවේ මේ මර්දනකාරී කටයුතුවලට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.


ඔබ ඔය කියන විදිහට වර්තමාන ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කරන්න හේතුව මොකක්ද?


ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා ඇතිවී තිබෙන දැඩි ජනතා අප්‍රසාදයෙන් හා වැඩබිම්වලින් එල්ල විය හැකි සේවක නැගීසිටීම්වලින් මිදීමේ අරමුණ ඇතිවයි ආණ්ඩුව මර්දනකාරී තීන්දු තීරණ ගනිමින් ඉන්නේ. ව්‍යවස්ථා සංශෝධන, දූෂණ විරෝධී පනතේ සංශෝධන මෙන්ම 22 වන සංශෝධනය වැනි නීතිමය මෙවලම් භාවිත කරලා අධිකරණ පද්ධතියේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු නොසලකා හරින්නයි මේ පාලකයන් උත්සාහ කරන්නේ. ඒ වගේම රාජ්‍ය මර්දනය හරහා තම බලය බලහත්කාරයෙන් පවත්වා ගැනීමටත් ආණ්ඩුව කටයුතු කරනවා කියලා අපිට හිතෙනවා.


ආණ්ඩු බලය ගැනීමට පෙර ජාතික ජන බලවේගය, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් විවිධ වෘත්තීය සමිති නියෝජනය කළානේ. එහෙම පිරිසක් බලයට ආ පසුව වෘත්තීය සමිති මර්දනය කරනවා කියන්නේ කොහොමද?


ඇත්තටම ආණ්ඩුව බලයට ඒමට පෙර සේවක අර්ථසාධක අරමුදල් වෙනුවෙන් සාකච්ජා කළා. කොමිස් න්‍යායට පිටරටින් භාණ්ඩ ගේන එකට පවා විරුද්ධ වුණා. නමුත් අද වනවිට රටට තණකොළ ඇරෙන්න ලුණු කැටේ සිට හැම දේම පිටරටින් ගෙන්වනවා. ජනතාවට නිවාස හා ජල පහසුකම්වත් හරියට නොදී නියමිත පරිදි මැතිවරණ ටිකවත් නොපවත්වා ජනාධිපතිවරයා රට වටේ රැස්වීම් තියමින් ඉන්නවා. දැන් මේ ඉන්න ආණ්ඩුවේ පිරිස බලය නැති කාලෙත් තමන්ගේ දරු පවුල් පෝෂණය කළේ කම්කරුවන්ගේ මුදලින්. අද ඔවුන්ගේ වත්කම් හෙළිවෙනකොට ඒවා වහගන්න විවිධ මර්දන දියත් කරනවා. මිනිස්සුන්ට පාන්වත් කන්න නැතිවෙනකොට ඇතිවෙන නැගීසිටීම් පාලනය කරන්නයි ආණ්ඩුව මේ මර්දනය ආරම්භ කරලා තියෙන්නේ. අධිකරණයත් තමන්ගේ වසඟයට අරගෙන සේවකයන්ගේ අයිතීන් උදුරාගන්නා මර්දනකාරී සේවක සභා ඇති කරන්න ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.


ඔබ ඔය කියන ආකාරයට ආණ්ඩුව සේවක සංසද ආරම්භ කිරීමට කටයුතු කරනවා කියමුකෝ. ඒකෙන් රටට වෙන හානිය මොකක්ද?


දැන් අපේ රටේ තිබෙන නීති පද්ධතිය මදිද කියන ප්‍රශ්නය අපට ඇතිවෙනවා. කම්කරුවාට සියලුම නීති තියෙනවා. එහෙම තියෙද්දි තව අලුත් සංසද ඇති කරන්න අවශ්‍යය නැහැ. හැම ආයතනයකම වෘත්තීය සමිති තියෙනවා. ආණ්ඩුවට වඩා විරුද්ධ පක්ෂයට වෘත්තීය සමිති තියෙනකොට ඒ වෘත්තීය සමිති ආණ්ඩුවේ දූෂණය නාස්තිය පෙන්වනවනේ. ඒ නිසා වෘත්තීය සමිතිවල යම් යම් පුද්ගලයන් අරගෙන කමිටුවක් හදාගෙන ඒ තුළට තමන්ගේ හිතවතුන් දාගෙන පාලනය කරගෙන යන්නයි ආණ්ඩුව හදන්නේ. පාලකයා විසින් කළයුත්තේ නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයාගේ අයිතීන් කප්පාදු කිරීම නැවැත්වීම මිස වෘත්තීය සමිති මර්දනය කිරීම නොවෙයි. වෘත්තීය සමිති ඇති කිරීමට ඉඩ දී නොමැති සියලු තැන්වල වෘත්තීය සමිති ඇති කිරීමට අදාළ ආයතන හිමියන්ට නියෝග නිකුත් කරමින් වෘත්තීය සමිති බිහි කරන්නයි ආණ්ඩුව ඉඩ දිය යුත්තේ. කම්කරු උපදේශක සභා, කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව වැනි ආයතන තිබියදී තවත් සේවක සංසද මොකටද කියලයි අපි ආණ්ඩුවෙන් අහන්නේ? වෘත්තීය සමිති ඇතිකරන්න මොනවා හරි තහංචියක් තියෙනවා නම් ඒ විලංගු අයින් කරලා කරලා ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ බන්ධනාගාර නිලධාරීන්ටත් ස්වාධීනව තමන්ගේ වෘත්තීය සමිති පවත්වාගෙන යාමට අයිතිවාසිකම් දිය යුතුයි. සේවකයන් කප්පාදු වෙනකොට, වැටුප් වැඩිවීම් හා ප්‍රසාද දීමනා නොලැබෙනකොට සේවකයෝ ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම වළක්වන්න ආණ්ඩුව වෘත්තීය සමිති අකර්මණ්‍ය කරලා සේවක සංසද ඇතිකරන්න යනවා. තමන්ට පක්ෂපාතී ආකාරයට සේවක සංසද සඳහා සාමාජිකයන් පත්කරගෙන, අලුත් යෝජනාවක් ගෙනැල්ලා එතැනින් ජයග්‍රහණය කරලා අපේ අයිතීන් කප්පාදු කරන්න ආණ්ඩුව උත්සාහ කරන බවක් තමයි අපිට නම් පේන්නේ.


වෘත්තීය සමිති සාමාජිකයන් හැමදෙයක්ම විවේචනය කරනවා කියලත් චෝදනාවක් තියෙනවානේ. ඒ නිසා මේ රටට වෘත්තීය සමිති අවශ්‍ය නෑ කියලා ආණ්ඩුව හිතුවා වෙන්නත් පුළුවන් නේද?


ඇත්තටම හැමදේටම විරුද්ධ වුණු කණ්ඩායම තමයි අද ආණ්ඩු බලයේ ඉන්නේ. අපි නම් හැමදේටම විරුද්ධ වුණේ නැහැ. ප්‍රතිපත්තියකට අනුවයි අපි එදා ඉඳලම කටයුතු කළේ. දැන් ඒ විදිහට කටයුතු කරන්න ආණ්ඩුවේ පිරිසත් උත්සාහ කරනවා. තනි තෙල් සංස්ථාවක් සහ තනි විදුලිබල මණ්ඩලයක් තිබිය යුතුයි කියූ පිරිසම ඒ ආයතන කොටස්වලට කැඩුවා. දූෂිත සූත්තර දෙකම ගලවනවා කිව්වට ඒවා ඉවත් කරලා නෑ. අදත් ඒ දූෂණ එහෙමම තියෙනවා. වෘත්තීය සමිති කියන්නේ වැරැද්දක් දුටු තැන කතා කළ යුතු එකමුතුවක්. නමුත් බලයට ඒමට පෙර මේ අය කිසිම සද්භාවයකින් තොරව හැමදේම විවේචනය කළා. කිසිම පරිවර්තනයකට එකතු නොවී හැම දේම සෘණාත්මක පැත්ත විතරක් දැක්කා. වැඩබිම පාරට ගෙනැල්ලා රට අස්ථාවර කරලා බලය දැනීම සඳහා පමණක් මොවුන් විවිධ කටයුතු කරලා තියෙනවා. ඔවුන් බලය ගත්තාට පසුව අපිට ගහන බව අපි හොඳටම දන්නවා. ඒ නිසාම අද වෘත්තීය සමිති සහ වැඩබිම්වල සිටින ජනතාව බුද්ධිමත්ව කටයුතු කරමින් තමන්ගේ වාරය ආවාම අදාළ පුද්ගලයන්ට නිසි පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා.


ඔබ ඔය කියන තරම් වෘත්තීය සමිතිවලින් රටට ප්‍රයෝජනයක් තියෙනවද? මේ රටට වෘත්තීය සමිති අවශ්‍යය ඇයි කියලා කවුරුහරි ඔබෙන් ප්‍රශ්න කළොත්?


ලංකාවට පමණක් නොවෙයි ලෝකයටම වෘත්තීය සමිති අවශ්‍යයි. මොකද වෘත්තීය සමිති බිහි වුණේ කිසිම පදනමක් නැතිව නිකම්ම නොවෙයිනේ. පාලකයා කවදාවත් සේවකයාගේ අයිතිය නිකන් දෙන්නේ නැහැ. මුල්කාලයේ ඇතැම් සේවකයෝ ප්‍රධානීන්ගේ සපත්තු හේදුවා, වාහාන හේදුවා. එහෙම නැත්නම් ප්‍රධානියාට කෑම දුන්නා. එහෙම කළ සේවකයන්ට පමණක් ප්‍රධානීන් වෙනම කවරයක දාලා මුදල් දුන්නා. ඒත් අපි පාරිතෝෂික දීමනාව නීත්‍යානුකූල තත්ත්වයට පත් කළා. ආයතනයක ඵලදායිතාවය තියෙන්න නම් සේවකයා ශක්තිමත් විය යුතුයි. සේවකයා හා ආයතනය අතර ගැටුමක් ඇති නොවී කාර්මික ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති ස්ථාපිත කළ යුතුයි. වෘත්තීය සමිති අවශ්‍ය නැත්නම් කම්කරු අමාත්‍යාංශයක් සහ කම්කරු දෙපාර්තමේන්තුවක් තියෙන්නේ මොකටද? එහෙමනම් ඒ ආයතනත් විසුරුවා හැරිය යුතුයි නේද. ඒත් ඒ ආයතන අවශ්‍යයි කියලා පිළිගෙන තියෙනවනේ. මේවා ජාත්‍යන්තර සංවිධාන සහ අධිකරණය පවා පිළිගත් අයිතිවාසිකම් හැටියටයි තියෙන්නේ.


වෘත්තීය සමිති නොතිබුණා කියලත් රටට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලත් සමහරු කියනවා....?


ඇත්තටම වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නැති වුණොත් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් පිළිබඳ සමාජයට තොරතුරු අනාවරණය කරන්නේ කවුද? තමන්ව හූරා කනකොට කම්කරුවන්ට යන්න තැනක් නැති වෙනවා. සාමාජිකයන්ගේ අයිතීන් කප්පාදු වන විට හෝ සාමාජිකයන් පෞද්ගලිකව පරිහරණය කරන විට ඊට එරෙහිව සංවිධානාත්මකව අධිකරණයට ගොස් ක්‍රමානුකූලව ගැටලු විසඳීමට පුළුවන් වෙන්නේ අදාළ වෘත්තීය සමිති ලියාපදිංචි වෙලා තිබුණොත් පමණයි. අධිකරණ පිහිටුවලා තියෙන්නේ තනියම විසඳගන්න බැරි දේවල්වලටයි. අපි අතින් මොනවා හරි වරදක් වෙද්දි මව්පියෝ ඒ වරද පෙන්වලා දෙනවා වගේ මේ වෙලාවේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න කෙනෙක් සිටිය යුතුම යි. වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නෙත් අන්න ඒ දේටම තමයි. ඒ නිසා වෘත්තීය සමිති එපා කියන්න කිසිසේත්ම ආණ්ඩුවට අයිතියක් නැහැ.


ඔබ ඔය කියන විදිහට වෘත්තීය සමති රටකට අත්‍යවශ්‍ය නම්, ආණ්ඩුව වෘත්තීය සමිති අකර්මණ්‍ය කරලා, ඒ වෙනුවට සේවක සංසද ස්ථාපිත කරන්නේ මොකටද?


ආණ්ඩුව හැමදේම කළේ තමන්ට නොලැබෙන දේ ලබාගැනීමට මිස පාලකයන්ව හරි පාරට ගන්න නොවෙයි. සංවිධාන බිහිවීමට විරුද්ධ වන්නේ ඒකාධිපතියා පමණයි. රජ කාලයේ සහ ඒකාධිපති පාලනවලදී සංවිධාන තිබුණේ නෑ. ඒත් මර්දනය තිබුණා. හිට්ලර් පවා බලය දිගටම තියාගැනීමේ අරමුණින් මර්දනය කිරීම පටන් ගත්තේ වෘත්තීය සමිති මර්දනය කරමිනුයි. අවසානයේ හිට්ලර්ට අවනත අධිකරණ පවා ඇති වුණා. ඒත් ඔහු නැති වෙනකොට අධිකරණයත් ජනතාවගේ පැත්තට ආවා. වෘත්තීය සමිති තියෙන්නේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සහ පහසුකම් නිවැරැදිව ලැබෙනවාද යන්න තහවුරු කරගැනීමටයි. අත්‍යවශ්‍ය සේවාවන් නිවැරැදිව ලබාදීමේ වගකීම සේවකයා ඉටු කරනවාද කියලා බලලා ඒ හරි දේ කරන්න ශක්තිය ගන්නයි. කාර්මික පනතේ තියෙන්නෙත් ඒකමයි. ආයතනයක ඵලදායිතාවය ශක්තිමත් කරන්න සේවකයා අවශ්‍යයි. ජනතා සේවය සපයන්න සේවකයා ශක්තිමත් කෙරෙන්නේ සේවකයාට අගතියක් නොවෙන ආකාරයටයි. ඒ දේ තනියම කරන්න බැරි නිසයි ජාත්‍යන්තරය වගේම අපේ රටත් පිළිගත් කම්කරු අමාත්‍යාංශයක් හදලා කම්කරු දෙපාර්තමේන්තුව හරහා වෘත්තීය අයිතිවාසිකම් ලබා දීලා තියෙන්නේ. එහෙම තිබියදී ඒ කිසිම දෙයක් ගැන තැකීමක් නොකර ආණ්ඩුව වෘත්තීය සමිති අකර්මණ්‍ය කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.



 

More News..