Best News Website award
brand logo
logo
අයි.පී.එල්. මෙවර වෙන්දේසියෙන් මෙරට 6ක් හැලෙද්දී 3ක් රැඳෙති

අයි.පී.එල්. මෙවර වෙන්දේසියෙන් මෙරට 6ක් හැලෙද්දී 3ක් රැඳෙති

19 November 2026


එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 20 වැනි අදියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් තරගාවලිය සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනාගෙන් 6 දෙනකු ඉවත්කොට 3දෙනකු රඳවා ගැනීමට කණ්ඩායම් හිමිකාරිත්වයන් තීරණය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය.


මෙහිදී කණ්ඩායම් විසින් රඳවා තබාගන්නා ක්‍රීඩකයන් අතරට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ එශාන් මාලිංගත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සඳහා පසුගිය තරග අදියරේදී ආදේශක ක්‍රීඩකයෙක් ලෙසින් එක්වූ දසුන් ශානකත් එසේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් පසුගිය තරගාවලිය සඳහා එක්වීමට වරම් නොලද රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නුවන් තුෂාරත් එක්ව සිටිති. විශේෂයෙන්ම රාජස්තාන් කණ්ඩායමේ ප්‍රබල කොදෙව් ක්‍රීඩක ශිම්රන් හෙට්මයර් වැනි ක්‍රීඩකයන් නිදහස් කරද්දී දසුන් ශානක කණ්ඩායමේ රඳවාගැනීම සැමගේ අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව තිබේ.


ඔවුන්ට අමතරව කණ්ඩායම්වලින් නිදහස් කළ ක්‍රීඩකයන් අතර දිල්ලි කැපිටල් කණ්ඩායමට ඉහළ දායකත්වයක් දැක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරත් නිදහස් කරද්දී, හයිද්‍රාබාද් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ දිල්ශාන් මධුසංකත් නිදහස් කළ ක්‍රීඩකයන් අතර වෙති. ඔවුන් මෙන්ම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගත් වනිඳු හසරංග සහ එම තරගාවලියේ දෙවැනි ඉහළම මිලදී ගැනීම ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් වෙත ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට වෙන්දේසි වූ මතීෂ පතිරණ ද මෙවර නිදහස් කිරීමට කටයුතු කර ඇත. ආබාධයකින් පසුව එම තරගාවලියට එක්වූ ඔහු එක් තරගයක පන්දු කිහිපයක් පමණක් යොමු කිරීමෙන් අනතුරුව නැවත ආබාධයකට ලක්වීම සුවිශේෂී සිදුවීමක් බවට පත් විය.


ඒ අනුව, වැඩිම ක්‍රීඩකයන් පිරිසක් නිදහස් කර ඇති කණ්ඩායම ලෙස කොල්කටා කණ්ඩායම ක්‍රීඩකයන් 12 දෙනකු නිදහස් කරද්දී, දිල්ලි සහ චෙන්නායි කණ්ඩායම් සිය ක්‍රීඩකයන් 10 බැගින්ද මුම්බායි සහ හයිද්‍රාබාද් කණ්ඩායම් ක්‍රීඩ්කයන් 9 දෙනා බැගින් ද නිදහස් කර ඇති අතර බැන්ගලුරු සහ ගුජරාට් කණ්ඩායම් සිය සංචිතවලින් ක්‍රීඩකයන් 5 දෙනා බැගින් ද නිදහස් කර ඇත. ඔවුන්ට අමතරව රාජස්තාන් කණ්ඩායම ක්‍රීඩකයන් 8ක්, ලක්නව් කණ්ඩායම ක්‍රීඩයන් 7ක් සහ පන්ජාබ් කණ්ඩායම ක්‍රීඩකයන් 6ක් වශයෙන් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

 

More News..