කැකිරාවේදී තරුණයෙකුට පහරදී මුදල් පසුම්බිය පැහැරගනී
21 November 2026 | චින්තක ක්රීෂාන්ත බාලසූරිය-ගලෙන්බිඳුණුවැව
කැකිරාවේදී තරුණයෙකුට පහරදී මුදල් පසුම්බිය පැහැරගනී
21 November 2026 | චින්තක ක්රීෂාන්ත බාලසූරිය-ගලෙන්බිඳුණුවැව
කුරුණෑගල දෙස සිට කැකිරාව දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ තරුණයෙකුට පහරදී ඔහුගේ මුදල් පසුම්බිය පැහැරගෙන පලාගිය සිදුවීමක් වාර්තා වේ.
සිදුවීමට අදාළ ඇතැම් දර්ශන සහ සැකකරුවන්ගේ හැසිරීම් එම තරුණයාගේ ජංගම දුරකථනයේ පටිගත වී ඇත.
කුරුණෑගල සිට කැකිරාව බලා පැමිණෙමින් සිටි අදාළ තරුණයා, ගමන් විඩාව නිවා ගැනීම සඳහා කැකිරාව නගරයට ආසන්නයේ වෙල්යායක් අසල ප්රධාන මාර්ගයේ පැත්තක යතුරුපැදිය නවතා බඩඉරිඟු කරලක් අනුභව කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී ඔහු කවුරුන්දැයි පරීක්ෂා කිරීමට එන මුවාවෙන් එම ස්ථානයට පැමිණි සැකකරුවන් දෙදෙනා තරුණයාව මංමුළාවට පත් කර ඇති බවත්, අනතුරුව එක් සැකකරුවෙකු තරුණයාව අල්ලාගෙන සිටියදී අනෙක් පුද්ගලයා පහර දී මුදල් පසුම්බිය පැහැරගත් බවත් සිද්ධියට මුහුණ දුන් තරුණයා පවසයි.
පසුව එක් සැකකරුවෙකු වෙල්යාය දෙසට පලා ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා අංක තහඩු නොමැති මදුරුවා වර්ගයේ කුඩා යතුරුපැදියකින් පලා ගොස් තිබේ.
සිදුවීම අතරතුර තරුණයා විසින් සිය ජංගම දුරකථනයෙන් රූගත කරන ලද වීඩියෝ දර්ශනවල සැකකරුවන් සමඟ ඇති වූ වචන හුවමාරු, සැකකරුවන්ගේ දර්ශන මෙන්ම අංක තහඩු නොමැති මදුරුවා වර්ගයේ කුඩා යතුරුපැදියකින් පලායන අයුරු වීඩියෝ ගත කරගෙන ඇති බව ද දැකගත හැකිය.
එම දර්ශනවලදී සැකකරුවන් තමන් "ගල්කුලම" ප්රදේශයේ බව සඳහන් කරන අයුරු ද ඇසේ.
කොල්ලකෑමට ලක් වූ තරුණයා පවසන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් තමා කැකිරාව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.


