ගම්මිරිස්, ඉඟුරු, කුරුඳු කොල්ලකන කල්ලියක්
23 July 2026 | •නිර්මාණි තිලකසිරි
ගම්මිරිස්, ඉඟුරු, කුරුඳු කොල්ලකන කල්ලියක්
23 July 2026 | •නිර්මාණි තිලකසිරි
වැඩි වටිනාකමකින් යුත් වාණිජ භෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම හේතුවෙන් වගාකරුවන් සහ ප්‍රාදේශීය වතු සමාගම් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ගම්මිරිස්, ඉඟුරු, කරදමුංගු, කුරුඳු, වැනිලා සහ අලිගැටපේර ඇතුළු වටිනා භෝග මෙලෙස සංවිධානාත්මක කණ්ඩායම් විසින් සොරකම් කරන බැවින් මෙය ආර්ථිකයට එල්ල වී ඇති තර්ජනයක් ලෙස සලකා වහාම පියවර ගන්නා ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම පසළොස්වක පොහොය දින ආශ්‍රිතව සඳ එළිය පවතින රාත්‍රින්හිදී විදුලි පන්දම් පවා භාවිත නොකර පැය කිහිපයක් තුළදී විශාල වගා භූමි ප්‍රමාණක අස්වැන්න මෙම සොරුන් විසින් සොරකම් කරන බවත් එලෙස සොරකම් කරන අස්වැන්න නීති විරෝධී වෙළෙඳ ජාලයන් වෙත යොමු කිරීමෙන් පසුව සෙවීම අපහසු බවත් එම සංගමය පෙන්වා දෙයි.
මෙම සොරකම් හේතුවෙන් ඇතැම් වතු සමාගම්වලට සිය වගාවන් සුරක්ෂිත කරගැනීම සඳහා මාස තුනක කාලයක් තුළදී එක් භෝගයක් සඳහා පමණක් රුපියල් මිලියන විස්සකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව තිබෙන අතර අධික පිරිවැය සහ සොරකම් හමුවේ ඇතැම් වගාකරුවන් නව වගා ව්‍යාපෘති පවා අතහැර දමා ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. වත්මන් නීතිය යටතේ කෘෂිකාර්මික සොරකම් සඳහා පවතින දඬුවම් සහ දඩ මුදල් ඉතා අවම මට්ටමක පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන වැවිලිකරුවන්ගේ සංගමය ඒ උදෙසා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.
එමෙන්ම එලෙස සොරකම් කරන භෝග අලෙවි වන ජාලයන් නියාමනය කිරීමට පියවර ගන්නා ලෙසද ඔවූහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටිති.

