නියඟය නිසා වැවෙන් මතු වූ ඇටසැකිල්ලෙන් හෙලිවූ අභිරහස
26 August 2026 | •එෆ්.අස්ලම් •සම්පත් රණතුංග - දෙහිඅත්තකණ්ඩිය
නියඟය නිසා වැවෙන් මතු වූ ඇටසැකිල්ලෙන් හෙලිවූ අභිරහස
26 August 2026 | •එෆ්.අස්ලම් •සම්පත් රණතුංග - දෙහිඅත්තකණ්ඩිය
දෙහිඅත්තකණ්ඩිය නාගස්වැව ගං ඉවුරේ ඇට සැකිල්ලක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 12 වැනිදාය. දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික ඇතුළු නිලධාරීන් මෙම ස්ථානයට ළඟා වූයේ පොළොන්නරුව කොට්ඨාස අපරාධ ස්ථාන නිරීක්ෂණ ඒකකයේ නිලධාරින්, පොළාන්නරුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලසන්ත එස්.ඩී ද සිල්වා සමගය. මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් සරණි ජයවර්ධන මෙනෙවිය ඉදිරියේය.
මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා රජරට වැව් අමුණු රැසක්ම විශාල වශයෙන් සිඳීයාමට ලක්ව ඇත. ජනතාව වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටි නමුත් නාගස්වැව වෙනදා මෙන් ජලයෙන් පිරී තිබුණේ නම් ඇට සැකිල්ලක් මේ ආකාරයෙන් කිසි දිනක උඩට මතුවන්නේ නැත. කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයකුගේ යැයි කිව නොහැකි ඇට සැකිල්ල උඩට මතුවූයේ තවත් එක් අබිරහස් මරණයක් වැව් පතුලේ සදා කාලිකව මිහිදන් වීමට තිබූ අවස්ථාව අහුරා දමමිනි.
දිය යටම සැඟවීමට ගිය එම මරණය සිදුවූයේ කෙසේද එය ඝාතනයක්ද යන්න ගැන සෙවීමේ කටයුත්ත දෙහිඅත්තකණ්ඩිය පොලිසියට පැවරුණේ එසේය. අපරාධමය සාක්කි වලින් ඔබ්බට ගොස් පරිවේෂණීය හා විද්‍යාත්මක සාක්ෂි සියල්ලම රැස් කරමින් එම ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හා අපරාධකරු සාක්ෂි සහිතව කොටුකර ගැනීමට පොලිසියට පෙරේදා (24 වැනිදා) හැකිවිය.
මේ අනුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළාන්නරුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙසත් මෙම මරණය පිළිබඳ විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත් මෙහිදී දෙහිඅත්තකණ්ඩිය පොලිසියට නියෝග කර තිබිණි.
අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඇට සැකිල්ල පරීක්ෂා කිරීමේදී විද්‍යාත්මක ලක්ෂණ අනුව මෙය කාන්තාවකගේ මළ සිරුරක් බවට නිගමනය කර තිබිණි.
අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ ඍජු උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කළ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරිහු මෙදිනම මෙම මළ සිරුර ගොඩගසා තිබූ ස්ථානය අවට පරීක්ෂා කිරීම් සිදුකරන්නට වූහ. එහිදී ටෙන්ට් රෙදි කැබැල්ලක්, ඇන්ටනා වයර් දෙකක් මෙන්ම තවත් ගලක ගැටගසා තිබූ ඇන්ටනා වයර් දෙකක්ද සොයාගැනීමට පොලිිසියට හැකිවිය.
නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත ප්‍රදේශයේ අතුරුදන් වූවන් සිටීද යන්න පිළිබඳවද දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයා ලේඛණ පරීක්ෂාවකින් විමර්ශනය කළද එලෙස අතුරුදන් වූවකු ගැන පැමිණිල්ලක් ලැබී නොමැත.
මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ බුද්ධි නිලධාරින් ඇතුළු නිලධාරින් යොදවා සොයාබැලීමේදි යම් තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිව ඇත.
ඒ දෙහිඅත්කණ්ඩිය තුවාරගල ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක් වයසැති දරුවකු සිටින බවත් එම දරුවාගේ මව කාලයක සිට නුදුටු බවත්ය.
මේ අනුව පොලිසිය එම නිවසට ගොස් විමර්ශනය සිදුකළ අතර එම නිවසේ සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් දරුවාගේ පියා බවත් දරුවාගේ මව මාස හයකට පමණ පෙර තරහ වී නිවසෙන් ගිය බවත් එතැන් පටන් ඇය ගැන තොරතුරක් නැති බව පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකළේ ඇයිද යන්න පිළිබඳ විමසීමේදී නිවෙස් හිමියා පවසා ඇත්තේ එසේ කිරීමට නොසිතූ බවය.
ඇතිවූ සැකය මත පොලිසිය මෙම නිවස පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබු අතර නිවසේ ඇණයක පැටලී තිබූ ටෙන්ට් රෙද්දක කුඩා කොටසක් හා නිල් හා කළු පැහැ ඇන්ටනා වයර් කොටසක්ද එහි තිබී සොයාගැනීමට හැකිවිය.
මේ අනුව මළ සිරුර හමුවූ දින නාගස්වැව වැව ආසන්නයේ තිබී සොයා ගත් ඇන්ටනා වයර් කැබලි හා ටෙන්ට් රෙද්ද මෙම නිවසෙන් හමුවූ ටෙන්ට් රෙදි කැබැල්ල හා ඇන්ටනා වයර් ද සමගින් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. එහිදී මෙම සාක්ෂි එකිනෙක ගැළපෙන බවට අනාවරණය වී තිබිණි.
මේ අනුව සොයාගත් ඇට සැකිල්ල මෙම නිවසේ පදිංචිව සිටි නිලූකා මධුවන්ති නැමති 28 හැවිරදිි කාන්තාවගේ බවට අනාවරණය වී ඇත.
මෙම කාන්තාව මන්ද මානසික තත්ත්වයක පසුවී ඇති බවද ඇයට අනියම් පෙම් ඇසුරක් ඇතැයි කියමින් සැමියා විසින් නිරන්තරයෙන් පහරදීම් සිදුකර තිබෙන බවද පොලිසියට අනාවරණය කරගත හැකිව තිබේ.
මේ අනුව මෙම ඝාතනයට සැකපිට මෙම කාන්තාවගේ සැමියා වන ශාන්ත සෙනෙවිරත්න නැමැත්තාව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එහිදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුට තමන් මෙම අපරාධය සිදුකළ බවට පිළිගැනීමට සිදුවිය.
තමන් මෙම අපරාධය පසුගිය ජූලි 30 වැනිදා සිදුකළ බවත් තම බිරිඳ තමාට රස ආහාර පිළියෙල කර නොදෙන බවත් තමන් කියන කිසිවක් තේරුම් නොගන්නා බවත් ඒ හේතුවෙන් තමන් ඇයට පහරදී ඝාතනය කළ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.
අනතුරුව ඇය පැලඳ සිටි ඇඳුම් පැලඳුම් ගලවා ඇයගේ නිරුවත් මළ සිරුර ටෙන්ට් රෙද්දකින් එතූ බවත් පසුව එම ටෙන්ට් රෙද්ද විශාල ගල් දෙකක ගැට ගසා අත් ට්‍රැක්ටරයෙන් මළ සිරුර නාගස්වැවෙහි ගිල්වූ බවත් සැකකරුගේ ප්‍රකාශ මගින් අනාවරණය වී ඇත
සැකකරුගේ ප්‍රකාශ මත සැකකරු විසින් අපරාධය සිදුකිරීමෙන් පසු ගලවා ඉවත් කළ මරණකාරියගේ ඇඳුම් සහ මළ සිරුර රැගෙන ගිය අත් ට්‍රැක්ටරයද පොලිස් භාරයට ගෙන තිබිණි. ඇයගේ මළ සිරුර ගොඩ නොඒ්ම සඳහා කිලෝ 20 ක් පමණ බරැති ගල් දෙකක් ගෙලෙහි බැඳ ගිල්වූ බවත් ඇයගේ ඇඳුම් ඉවත් කර ගිල්වූයේ ඇය පැලඳු සිටි ඇඳුමෙන් මළ සිරුර හදුනාගැනීමට හැකිව තිබීම නිසා යැයිද සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.
මෙම සැකකරු මීට පෙරද විවාහයක් සිදුකරගෙන සිට ඇයගෙන් වෙන්වී මෙම කාන්තාව හා ජීවත්ව ඇති බවද සැකකරුගේ නිවසේ මොවුන් දෙදෙනා හා දරුවාට අමතරව දෙමාපියන්ද සිටියද පසුගිය 30 වැනිදා සැකකරුගේ පියාගේ පාදයක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් තිබූ නිසා මව නිවසෙන් බැහැරව සිට ඇති බවද එම අවස්ථාවේදී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සඳහන් කළේ මෙම අපරාධයට අදාළ විමර්ශනයේදී දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විද්‍යාත්මක හා පරිවේෂණීය සියලු සාක්ෂි සමගින් සැකකරු කොටු කරගැනීමට සමත්ව තිබෙන බවය. එය දක්ෂ ලෙස ඉවසිලිවන්තව සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් බවය.
අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත කස්තුරිආරච්චිගේ උපදෙස් මත දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධිකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.සුදර්ශන, උප පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍රසිරි, පොලිස් සැරයන්වරුන් වන (54207) සිරිසේන, (74322) රාජපක්ෂ, පොලිස් කොස්තාපල්වරුන් වන (61636) අජිත්, (77479) ලක්මාල්, ( 90401) හර්ෂ, ( 97353) බස්නායක යන මහාත්වරු සමග අපරාධ පරීක්ෂණාගර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. කේ. සී. පිරිස්, පොලිස් සැරයන්වරුන් වන (69133) බාලසූරිය, (69466) බණ්ඩාර පොලිස් කොස්තාපල් (71617) සුරංග හා කාන්තා පොලිස් නිලධාරීනි 10692 හේරත් යන නිලධාරි නිලධාරීහු මෙම විමර්ශනය සිදුකළහ.

