brand logo
logo
යුද්ධයෙන් බැරි වුණු දේ සාමයෙන්?

යුද්ධයෙන් බැරි වුණු දේ සාමයෙන්?

12 August 2026

අපේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ හැසිරෙන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාව යටතේ ඇති යටත් විජිතයක් හැටියට සලකා බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් පෙනී ගොස් ඇත්තේ වරක් දෙවරක් නොවේ. නොබෝදා මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්රි හමුවූ අවස්ථාවේදී දෙමළ ජාතික සභාවේ (TNC) හැසිරීම ඊට ආසන්නම උදාහරණයයි. අප මේ සඳහන් කරන්නේ ගජේන්ද්‍ර පොන්නම්බලම් නායකත්වය දරන මේ පක්ෂය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාට භාරදුන් සංදේශය ගැනය.


ජාතික ජන බලවේග ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට සූදානම් බව එහිලා සඳහන් කරන දෙමළ ජාතික සභාව ඉන් මේ රටේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට ස්ථිරසාර දේශපාලන විසඳුමක් ලබාදෙන්නැයි මෙරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලෙස කියා සිටී. එපමණක් නොවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අතහැර දෙමළ ජනතාවට ෆෙඩරල් විසඳුමක් ලබාදෙන ලෙස ජාජබ ආණ්ඩුවට දැනුම් දෙන ලෙස ඔවුන් එමගින් ඉල්ලා තිබේ.


මෙතෙක් දුර කියවූ පාඨකයන්ට අපට කියන්නට ඇත්තේ හොඳ හරිය එන්නේ තව ඉදිරියට බවය. 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජභූමිය හැටියට පිළිගෙන ඇති හෙයින් ඒ ප්‍රදේශ ඒකාබද්ධ කර ස්වයං නීර්ණ අයිතිය ඇති තනි ප්‍රදේශයක් ලෙස අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලෙස ඔවුහු ඒ සංදේශයෙන් ඉල්ලති. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් ඒ ඉල්ලීම කරන්නේ තමන් ජීවත්වන රටේ ආණ්ඩුවෙන් නොවන බැවිනි.


ඔවුන් ඒ ඉල්ලන්නේ අසල්වැසි ඉන්දියාවේ විදේශ ලේකම්වරයාගෙනි. දෙමළ ජාතික සභාව මෙහිදී කියා සි⁣ටින්නේ සිය ඉල්ලීම ශ්‍රී ලංකා ආණ්ඩුව ලවා ඉෂ්ට කරවා දෙන ලෙසය. පුදුමය වන්නේ ඔවුන් මේ ඉල්ලීම කරන්නේද ශ්‍රී ලංකාවේ සිට වීමය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 13 වැනි සංශෝධනයෙන් දෙමළ ජනතාවට ස්වාධීනත්වය නොලැබුණු හෙයින් ඒ අසාර්ථක බව ඔප්පු කෙරුණේ යැයි ඔවුහු වැඩිදුරටත් පවසති. ඒ ඒකීය රාජ්‍යයක් යටතේ ඔවුන්ට ලැබිය යුතු ස්වාධීනත්වය නොලැබෙන හෙයිනි. එහෙයින් ඒකීය රාජ්‍යයක් පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොතනන ලෙස මෙරට ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.


අඳෝමැයි! දෙමළ ඡන්දවලට ආසක්තකමින් මේ රටේ දෙමළ දේශපාලන පක්ෂ කියන කිසිම දේකට විරුද්ධව කටක් අරින්නේ නැති ආණ්ඩුව මෙහිදීද දැඩි මෞනවෘත්තයක් රකියි. ඒ ආණ්ඩුව වහාම මීට විරුද්ධව නිල නිවේදනයක් නිකුත් කළ යුතු පසුබිමකය.


දැන් මේ රටේ ඇතැමුන් හැසිරෙන්නේ එල්ටීටීඊ සංවිධානය අවුරුදු තිහක් තිස්සේ මේ රට දෙකඩ කැඩීමේ අරමුණ ඇතිව ගෙන ගිය සිවිල් යුද්ධය 2009 දී යුද්ධ භූමියේදී පරාජය කරන ලද බව නොදන්නා ලෙසිනි. ඉන් අවුරුදු දාහතක් ගෙවී ගිය තැන මේ තනන්නේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට යුද්ධ කර දිනාගන්නට නොහැකි වූ දේ ඉන්දියාවේ බළල් අත යොදවා රාජ්‍ය තාන්ත්‍රිකව දිනාගන්නටය. ඒ බව දෙමළ ජාතික සභාව ඉන්දීය විදේශ ලේකම්වරයාට භාරදුන් සංදේශයේම සඳහන්ය.


ඒ වටින් ගොඩින් නොවේ. අමුවෙන්මය. ඉන්දියාව මෙරටේ ආර්ථිකය ගොඩදමන්නට විශාල සහයෝගයක් ලබාදෙන හෙයින් මේ ඉල්ලීම ඉෂ්ට කරවා දෙන ලෙස කියමිනි.


මේ ඉල්ලීම 2009 දී මේ රටේ ආණ්ඩුව ඉන්දියාවේ මිත්‍රත්වයද රැකගනිමින් බටහිර රටවල බලපෑම්වලටද යටත් නොවෙමින් ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවාදෙන ලෙසය. ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමට සුප්‍රසිද්ධ නායකයන්ගෙන් ගහන මේ ආණ්ඩුවේ, එය කළ නොහැකි දෙයක් යැයි කියන්නට කෙනෙක් නැත. හැරත් අපේ රටේ ප්‍රශ්න ඉන්දියාව ලවා විසඳවා ගන්නට තනන පිරිසට මේ රට ඒ රටේ යටත් විජිතයක් නොවේ යැයි මතක් කර දෙන්නටද කවුරුන් හෝ අවශ්‍යය.


මේ රටේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන මේ දෙමළ නායකයන් දෙමළ ජනතාව වෙනුවෙන්වත් ඉන්දියාව සමග තරහක්වෙන්නේ නැති බවද මෙහිදී සිහිපත් කළ යුතුය. උතුරේ ධීවරයන්ගේ අයිතිවාසිකම් ඉන්දීය ධීවරයන් විසින් සාහසික ලෙස උදුරා ගනිද්දී ඔවුන් කවදාවත් ඒ වෙනුවෙන් පෙනී සිට නැත. තමිල්නාඩු මහ ඇමැතිවරයා දේශපාලන වාසිය වෙනුවෙන් කච්චතිව් දූපතට අයිතිවාසිකම් කියන විට මොවුන් කවදාවත් ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල හිමිකම වෙනුවෙන් ඉදිරිපත් වී තිබේද?


ඇත්ත කතාව නම් මේ රටේ දෙමළ ජනතාවට ඊනියා දෙමළ නායකයන් කියන අන්දමේ වෙනම රාජ්‍යයක් හෝ ෆෙඩරල් පාලනයක් හෝ අවශ්‍ය නැති බවය. එසේනම් ඔවුන් පසුගිය මැතිවරණවලදී ඊළාම් රාජ්‍යයක් ඉල්ලූ එල්ටීටීඊය සමග එකගෙයි කෑ දෙමළ නායකයන් අතහැර ජාජබට ඡන්දය දෙන්නේ නැත. දෙමළ ජනතාවට සුගතියක් වන්නේ ඔවුන්ට ෆෙඩරල් රාජ්‍යයක් ලැබුණුදාට නොව මෙබඳු දෙමළ නායකයන්ගෙන් ගැලවුණුදාටය.

 

More News..