roadBlockMobile
brand logo
logo
වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 272කට අධික සංඛ්‍යාවක් අවලංගුයි

වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 272කට අධික සංඛ්‍යාවක් අවලංගුයි

10 July 2024 | එෆ්. අස්ලම්, මනෝජ් එදිරිසිංහ - මීරිගම, සිතාර ඉරාෂ් - වටවල

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද ආරම්භ කළ වර්ජනයෙන් දුම්රිය ගමන් වාර දෙසීය හැත්තෑ දෙකකට අධික සංඛ්‍යාවක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මෙම වර්ජනය හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීන් පිරිසකට අද දුම්රියේ නොමිලයේම ගමන් කිරීමට හැකිවිය.


නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.


වර්ජනය හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම, භාණ්ඩ හා පාර්සල් බාර නොගැනීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි හතරක පමණ පාඩුවක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.


දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා බඳවා ගැනීම් නොකිරීම, ස්ථානාධිපතිවරුන්ට වසර පහෙන් පහට උසස්වීම් නොදීම සහ අවිධිමත් ක්‍රමවේදයක් ඒ සම්බන්ධයෙන් පවත්වාගෙන යාම මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපති සංගමය පැය විසි හතරක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඊයේ (09 වැනිදා) මධ්‍යම රාත්‍රි 12 සිටය.


කෙසේ නමුත් මෙම ගැටලුවට විසඳුම් ලබානොදී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඒ අනුව සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අද (10 වැනිදා) දහවල් 12ට ප්‍රථම රාජකාරි සඳහා වාර්තා කරන ලෙස නියෝගයක්ද නිකුත් කර තිබිණි.


එසේ රාජකාරියට වාර්තා කිරීමක් නොකළහොත් සේවය අත්හැර යාමේ නිවේදන නිකුත් කරන බවද එමගින් අවධාරණය කර තිබිණි.


කෙසේ වෙතත් සිය සාධාරණ ඉල්ලීම් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අඩපණ කිරීමට රාජ්‍ය බලය පාවිච්චි කරන බව කියමින් දුමරිය ස්ථානාධිපති සංගමය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අද තීරණය කළහ. ඒ අනුව මෙම වර්ජනයට දුම්රිය උප ස්ථානාධිපතිවරුන්ගේ සංගමයත්, දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය මෙන්ම වෘත්තිය සංගම් කිහිපයක්ම සහාය දක්වා තිබිණි.


ස්ථානාධිපතිවරුන් අද ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දෛනිකව ධාවනය වූ දුම්රිය ගමන්වාර 295න් ධාවනය වී තිබුණේ ගමන්වාර 23 ක් පමණි. ඒ දුම්රිය පාලකවරුන් සංඥා ලබාදීමේ රාජකාරියෙන්ද ඉවත්වීම මතය.


මෙම වර්ජනය හේතුවෙන් මගීන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්විය.


එසේම කොළොන්නාවේ සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට දෛනිකව ධාවනය වන ඉන්ධන ප්‍රවාහන දුම්රිය හය ඇතුළු ඉන්ධන ප්‍රවාහන දුම්රිය 26ම ඊයේ ධාවනය නොවූ බවත් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රියන්ද ධාවනය නොවූ බවත් දුම්රිය ස්ථානාධිපතිවරු සඳහන් කරති.


එසේම ආසන වෙන්කර ගැනීමේ පහසුව ඇති සියලුම දුම්රියද ධාවනය නොවීම මත මගින් දැඩි අපහසුතාවට පත්වූ අතර එම දුම්රිය ආසන සඳහා ගෙවූ මුදල් ආපසු ගෙවීමටද දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත.


අද දිනය පුරාම ක්‍රියාත්මක වූ වර්ජනය හේතුවෙන් දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන් ලංගම බස් මගින් නොමිලයේම ප්‍රවාහනය කරවීමට ලංකා ගමනා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබිණි. ඒ ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මතය. හෙට දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක වන්නේ නම් එලෙසම කටයුතු කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

 

More News..