brand logo
logo
කජ්ජා පරලොව ගියේ බැකෝ සමන් එතෙර සිට දුන්න ගේමෙන්

කජ්ජා පරලොව ගියේ බැකෝ සමන් එතෙර සිට දුන්න ගේමෙන්

27 February 2025 | එෆ්. අස්ලම්

රටේ මේ දිනවල වැඩියෙන්ම සිදුවන්නේ වෙඩි තැබීම් ය. ඒ පාතාලකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති ආරවුල් හා පළිගැනීම්වල ප්‍රතිඵල ලෙසය. පසුගිය 18 වැනිදා මුළු රටක්ම කම්පා කළ වෙඩි තැබීමක් වූයේ මිද්දෙණිය ගල්පොත්තයාය හන්දිය අසලදී යතුරුපැදියක ගමන්ගත් එකම පවුලේ පියා, දියණිය හා පුතු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියය. මුළු රටක්ම හැඬවූ මේ අහස පොළොව නුහුලන අපරාධයේ සුලමුල අනාවරණය කරගැනීමටත් එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමටත් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හැකිවූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් හා එක්ව සිදුකළ දක්ෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.


මිද්දෙණිය ගල්පොත්තයාය හන්දිය අසල මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ පසුගිය 18 වැනිදා රාත්‍රි 10 ට පමණය. මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා ය. වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේ කජ්ජා නමැත්තාය. එම වෙඩි ප්‍රහාරයෙන් කජ්ජා නමැත්තා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහුගේ දියණිය හා පුතු බරපතළ තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූහ.


තිදරු පියකු වූ කජ්ජා මිද්දෙණිය වෙන්දේසිවත්තේ පදිංචිකරුවකු වූ අතර ඔහුගේ බිරිඳ විදෙස්ගතව සිටියාය. මේ හේතුවෙන් කජ්ජාගේ දරු තිදෙනා බලා කියාගත්තේ ඔහුගේ අක්කා ය. පසුගිය 18 වැනිදා රාත්‍රියේ කජ්ජාගේ බාල දියණියත් බාල පුතුත් තමාට යෝජනා කළේ තාත්තේ අපි රෑට ෆ්‍රයිඩ් රයිස් කමු කියලාය. දරුවන්ගේ ආශාව ඉෂ්ට කිරීම සඳහා කජ්ජා තම දරු තිදෙනාද සමගින් යතුරුපැදියකින් ගොස් වැඩිමහල් පුතු රයිස් ඇණවුම් කළ හෝටලයේ රැඳවූහ. ඒ රයිස් පාර්සල් සමගින් තම වැඩිමහල් පුතුව නිවසට හැරලන ලෙසට තම මිතුරකුටද දැනුම් දෙමිනි.


කෙසේ වෙතත් කජ්ජා දරු තිදෙනා සමගින් වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ ඉන් අනතුරුවය. වෙඩි වැදී ස්ථානයේ තිබී කජ්ජා විසින් ගෙන එන ලදැයි කියන මාංචු යුවළක් ද පොලිසිය සොයාගෙන තිබිණි.


මාතර හා තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස් මත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් සෙනෙවිරත්නගේ අධීක්ෂණයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අතර මෙම ඝාතනය සම්බන්ධීකරණය කළ ප්‍රධාන සැකකරුවකු ඇතුළු සැකකරුවන් පස් දෙනකුම අත්අඩංගුවට ගෙන තිබිණි.


මෙම ඝාතනය හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මේ වනවිට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නැදුන්ගොඩගේ නිර්මල නොහොත් බැකෝ සමන් නමැත්තා ගේ මෙහෙයවීම මත සිදුව ඇතැයි අනාවරණය වී ඇත්තේ බැකෝ සමන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන වකමුල්ල තිහගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි මනෝජ් ප්‍රසාද් කුමාර නොහොත් ජීවන් නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුවය.


මිද්දෙණිය උලහිටියාවේ පදිංචිකරුවකු වූ බැකෝ සමන්ගෙන් කජ්ජාට මීට වසර දෙකහමාරක පෙර සිටම මරණ තර්ජන එල්ල වී තිබිණි. ඊට හේතුව වී ඇත්තේ බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි තිස් අටකට අධික වටිනාකම් ඇති හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 38ක් පොලිසියට හසුකර දීමේ ඔත්තුව කජ්ජා විසින් ලබාදී ඇති බවට සැක කිරීමත් බව පොලිසිය පවසයි.


මෙම මත්කුඩු තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණේ පසුගිය 2022 වසරේදීය. ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට මෙම මත්ද්‍රව්‍ය නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් මුහුදු මාර්ගයෙන් එවන ලද ඒවා බවත් එම මත්ද්‍රව්‍යවල හිමිකරු බැකෝ සමන් නමැත්තා බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.


බැකෝ සමන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට තුළ සිදුකරන ජීවන් නමැත්තාද මේ හේතුවෙන් කජ්ජා සමගින් සිට ඇත්තේ වෛරයකිනි. එවන් පසුබිමක මීට මාසයකට ඉහතදී සමන් විසින් එවන ලද ජාවාරම් සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකහමාරක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සඳහා ඔත්තුව ලබාදුන් බවටද චෝදනා එල්ල වී තිබුණේ කජ්ජාටය.


මෙවන් පසුබිමක බැකෝ සමන් තම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හූනියමක්ව සිටින කජ්ජා නමැත්තා ඝාතනය කරලීමට සැලසුමක් යෙදුවේය. ඒ වෙනුවෙන් විශාල වගකීමක් ලබාදී තිබුණේ ජීවන්ටය. ජීවන්ට පැවරී ඇති වගකීම වූයේ කජ්ජා ලුහුබඳිමින් ඔහු යන එන තැන් ගැන විමසිලිවෙමින් තමන්ට තොරතුරු ලබා දීමය.


ජීවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තවත් පුද්ගලයකු වූයේ ඉෂාන් චමින්ද ජයසිංහ නොහොත් බණ්ඩා ය. බණ්ඩා ද සිය හිතවතුන් ද යොදමින් කජ්ජා යන එන තැන් ගැන සෙවීමට පටන්ගෙන තිබිණි. විශේෂයෙන් මොවුන් මිද්දෙණිය හා ආසන්න ප්‍රදේශවල සෑම මළගෙදරකම කරක් ගසා ඇත්තේ ඒ මළගෙදරකට බූරු ගැසීමට කජ්ජා පැමිණෙනවා දැයි සොයා ගැනීමටය.


අරුණ නොහොත් කජ්ජා පුරුද්දක් ලෙස මළගෙවල්වල ගමන් කිරීම සිරිතක් වී ඇත්තේ බූරු ගැසීමටය. මළ ගෙවල් නැතත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට හෝ වෙනත් දිනවල බූරු මණ්ඩිවලට ගොස් බූරු ගැසීමටද ඔහු කටයුතු කර ඇති බව ගම්වාසීන්ම දන්නා රහසකි. ඇතැම් අවස්ථාවල මාංචු දමා පුද්ගලයන් බියවද්දා මුදල් කොල්ලකෑම් ද මොහු විසින් සිදුකර ඇති බවට වාර්තා වන බවත් ඇතැම් අපරාධ ද මොහු විසින් සිදුකර ඇති බවත් පැවසේ.


එහෙත් කලක පටන් ඔහු වැරැදි ක්‍රියාවල නිරත නොවී ඇති බවත් නිර්ධනයන්ට උදව් උපකාර කරමින් සිට ඇති බවත් මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් අතරේ දැඩි ආදරයක් ඔහු කෙරෙහි ගොඩනැගී තිබූ බවත් ගම්වාසීහු කියා සිටිති.


පසුගිය 18 වැනිදා රාත්‍රියේ බණ්ඩා නමැත්තාගේ මිත්තණිය මියගොස් වසරක් සපිරීම නිමිත්තෙන් බණ දේශනාවක් සිදුව තිබිණි. මෙදින මෙම නිවසට ජීවන් ඇතුළු බණ්ඩාගේ හිතවතුන් ද පැමිණ සිටියහ. එම බණ පිංකම සඳහා බණ්ඩාගේ බාල සහෝදරයාද මෙදින කොළඹ සිට පැමිණ සිටියේය.


මල්ලි, ජීවන් අයියා එක්ක ගිහිල්ලා සිගරැට් ටිකක් අරන් වරෙන්. අයියා පිටිපස්සේ යයි උඹ බයික් එක පැදපං යනුවෙන් බණ්ඩා තම බාල සහෝදරයාගෙන් ඉල්ලීමක් කළේය.


ඒ ඉල්ලීමට අනුව බණ්ඩාගේ බාල සහෝදරයා ජීවන් සමගින් යතුරුපැදියෙන් ගමන් කර තිබුණේ සිගරැට් මිලදී ගත හැකි කඩවල් කිහිපයක්ම පසුකරය. ජීවන් වට්ස්ඇප් සමූහ දුරකථන ඇමතුමකට සම්බන්ධ වෙමින් වීරකැටිය මිද්දෙණිය ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කළ බවත් දුරකථන ඇමතුමේ සිටි පිරිස් මිද්දෙණිය සති පොළ හා ක්‍රීඩාංගණය වැනි ස්ථානවල සිටින බව පවසනු ඇසුණු බවත් බණ්ඩා නමැත්තාගේ බාල සහෝදරයා ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.


පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය මෙදින සිදුවීමට පෙර බැකෝ සමන්, ජීවන් මෙන්ම වෙඩික්කරුවන් ඇතුළු අපරාධයට සම්බන්ධ පිරිස් එකම ඇමතුමෙන්ම කතා බස් කර ඇති බවය. මේ බව සැකකාර ජීවන් නමැත්තාගේ ප්‍රකාශ මගින් ද තහවුරු වී තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.


මෙම ඝාතනයට වෙඩික්කරුවන් පිටින් ගෙන්වාගෙන අපරාධය සිදුකර ඇතැයි සැකකරන බවත් වෙඩික්කරුවන් සම්බන්ධ මෙහෙයවීම බැකෝ සමන් නමැත්තා විසින් එතෙර සිටිමින් සිදුකර ඇති බවත් ජීවන් නමැත්තාත් සෙසු සැකකරුවනුත් සිදුකර ඇත්තේ කජ්ජා නමැත්තා ලුහුබැඳීම, ඔහු ගැන තොරතුරු යාවත්කාලීන කිරීම පමණක් බවත් පොලිසිය කියා සිටියි.


එසේම මෙම ඝාතනයට අදාළව තංගල්ල පොලිසියේ කොස්තාපල්වරයකුද අත්අඩංගුවට ගෙන ඇත්තේ කජ්ජා නමැත්තා ඝාතනය වූ ස්ථානයේ තිබී සොයාගත් මාංචු කුට්ටම ගැන කළ විමර්ශන මගිනි. මෙම පොලිස් කොස්තාපල්වරයා කජ්ජාගේ සමීපතමයකු බවත් ඔහු විසින් කජ්ජාට මෙම මාංචු කුට්ටම ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.


පොලිසිය සැකකරන්නේ මෙම කොස්තාපල්වරයා ද ඝාතනය මෙහෙයවූ කණ්ඩායමට තොරතුරු ලබාදී ඇති බවය. ඊට හේතු වී ඇත්තේද කජ්ජා ඝාතනය වූ දිනයේදී හා ආසන්න දිනවලදී වැඩි වශයෙන් කජ්ජා ගැන පුද්ගලික තොරතුරුද විමසීමය.


මේ අතර මෙම ඝාතන ත්‍රිත්වයට අදාළව ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනකු වන සිඟිති කළු සහ නේවි රුවන් නමැති සැකකරුවන්ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් එක් සැකකරුවකු කාලයකට පෙර සිදුවූ වෙඩිතැබීමක යතුරුපැදිකරුවකු වන බවද පොලිසිය කියා සිටියි.


කෙසේ වෙතත් මෙම ඝාතන ත්‍රිත්වයම සිදුකළ වෙඩික්කරු හෝ යතුරුපැදිකරු ගැන තවමත් නිශ්චිත තොරතුරක් නොමැති අතර දුරකතන දත්ත විශ්ලේෂණ, ආරක්ෂිත කැමරා දර්ශන මෙන්ම සැකකරුවන්ගේ ප්‍රකාශ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන්වරුන් වන මංජුල, (44974), රසික (70223), චමින්ද (68435), සංජු (22932), පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (71452), ඩෙස්මන් (84229), ප්‍රතාපසිංහ (79437), විජේසේකර (36847) හා ප්‍රනාන්දු (100078) ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 

More News..