"ලෝක ක්‍රිකට් නීතිය සිංහලෙන් සහ දෙමළෙන් දැන් කියවිය හැකියි"- සිදත් වෙත්තමුණි
24 November 2026 | සසිත සේනානායක
"ලෝක ක්‍රිකට් නීතිය සිංහලෙන් සහ දෙමළෙන් දැන් කියවිය හැකියි"- සිදත් වෙත්තමුණි
24 November 2026 | සසිත සේනානායක
මෙරට බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ විනිසුරුවරුන්ට ක්‍රිකට් නීති තමන්ගේ භාෂාවෙන් දැනගැනීමේ හැකියාව ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ලෝක ක්‍රිකට් නීතී සම්පාදකයා වන මාලිබෝන් ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ව සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජික සිදත් වෙත්තමුණි ඊයේ (23 වැනිදා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දේශීය ක්‍රීඩකයන්ට සහ විනිසුරුවරුන්ට මෙන්ම පුහුණුකරුවන්ටත් සිය මව් භාෂාවෙන් ක්‍රිකට් නීති කියවා අවබෝධ කර ගැනීමට ලැබීමෙන් වඩාත් ක්‍රීඩාව සමග සමීප වීමටත්, ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයන්ගේ දියුණුවක් ඇති වීමටත් බලපාන බව පවසා සිටියේය. එසේම මෙම අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දීම පිළිබඳව එම අවස්ථාවට මාලිබෝන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් එක්ව සිටි එහි ක්‍රිකට් ප්‍රධානී ෆ්රේසර් ස්ටුවර්ට් වෙත සිය ස්තුතිය ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ෆ්රේසර් ස්ටුවර්ට්, "ක්‍රිකට් ක්‍රීඩාවේ නීති ඉතා සංකීර්ණයි. ඒ වගේම ඔබ ඉංග්‍රීසි භාෂාව කතා කරන කෙනෙක් නොවෙයි නම් එය තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා මාලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කළා විවිධ භාෂාවන්ට පරිවර්තනය කරමින් ක්‍රිකට් නීති සෑම ජනවර්ගයකටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් පරිවර්තනය කර ජංගම දුරකතන යෙදුමක් (Mobile app) මාර්ගයෙන් ජනතාවට සමීප කිරීමට. මේ මාර්ගයෙන් පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා සිට වෙනස් වූ නව නීති සහ එහි පාරිභාෂිත වචන තමන්ගේ මව් බසින් කියවා ගන්නට හැකි වෙනවා. අපි පසුගිය මාසයේදී ඉන්දියාවේදී හින්දි, උර්දු, බංග්ලා, කන්නඩ සහ මරාති යන භාෂාවන්ගෙන් මෙය ජනතාවට ලබා දුන්නා. ඒ අනුව සිංහල සහ දෙමළ සමග මේ වන විට ක්‍රිකට් නීති භාෂා 7කට පරිවර්තනය කොට තිබෙනවා. මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ මව් භාෂාවෙන් ක්‍රිකට් නීති දැනගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි බොහෝ සතුටු වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් රටක් වන ශ්‍රි ලංකාවට මෙම පරිවර්තනය ලබා දීම ගැන" යැයි පැවැසීය.
මෙම මාධ්‍ය හමුවට ෆ්රේසර් ස්ටුවර්ට්, සිදත් වෙත්තමුණි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලින්ඩන් හැනිබල් ද සහභාගි විය. එමෙන්ම ඊයේ පස්වරුවේ ෆ්රේසර් ස්ටුවර්ට් විසින් දේශීය ක්‍රිකට් විනිසුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.


