අමෙරිකාවේ සියලුම ගුවන් යානා පිටත්වීම් අත්හිටුවයි
14 November 2026
අමෙරිකාවේ සියලුම ගුවන් යානා පිටත්වීම් අත්හිටුවයි
14 November 2026
අමෙරිකාවේ ගුවන්ගමන් පාලන මධ්‍යස්ථාන කිහිපයක ඇති වූ තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන්, එරටින් පිටත්වීමට නියමිතව තිබූ සියලුම ගුවන්යානා ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය (FAA) පියවර ගෙන ඇත.
2001 සැප්තැම්බර් 11 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, රට පුරා සමස්ත ගුවන්ගමන් පද්ධතියම මෙලෙස මුළුමනින්ම අත්හිටුවූ දෙවන අවස්ථාව මෙය ලෙස සැලකේ.
ගුවන්ගමන් නිරීක්ෂණ සේවාවක් වන FlightAware හි දත්තවලට අනුව, මෙම සන්නිවේදන බිඳවැටීම හේතුවෙන් ගුවන් වාර 7,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී හෝ සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇත.
මෙම නියෝගය නිකුත් කරන අවස්ථාවේදී ගුවනේ ගමන්කරමින් තිබූ ගුවන් යානාවලට ආසන්නතම ගුවන් තොටුපළවල් වෙත ගොඩබෑමට අවසර හිමිවූ අතර, ගුවන්තොටුපොළ බිම් මට්ටමේ තිබූ කිසිදු ගුවන් යානයකට ගුවන්ගතවීමට අවසර නොලැබිණි.
එක්සත් ජනපද ගුවන්ගමන් පාලන පද්ධතියේ පවතින උපකරණ සහ සන්නිවේදන පද්ධතිවල පවතින දුර්වලතා, ගුවන්ගමන් පාලකවරුන්ගේ හිඟය සහ යටිතල පහසුකම් යල්පැන තිබීම වැනි කරුණු හේතුවෙන් මෑත කාලයේදී අවස්ථා කිහිපයකදීම මෙවැනි ගැටලු මතුවිය.
මෙම පරිපාලන සහ තාක්ෂණික අර්බුද හේතුවෙන් ලෝකයේ කාර්යබහුලම ගුවන් කලාපයේ ආරක්ෂාවට සහ ගුවන්ගමන් කාලසටහන්වලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
අදාළ ගුවන් ගමන් තහනම ඉවත් කරන වේලාව පිළිබඳව ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති අතර, ඇතැම් ප්‍රදේශවල සන්නිවේදන පද්ධති ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තා වේ.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එරට ගුවන් තොටුපළ සහ ගුවන්ගමන් පාලන පද්ධතිය නවීකරණය කිරීම සඳහා අමතර ඇමෙරිකානු ඩොලර් බිලියන 30.1ක මුදලක් වෙන් කරන ලෙස ධවල මන්දිරය සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොංග්රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් මෙම සන්නිවේදන බිඳවැටීම කිසියම් සයිබර් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවට හෝ මෑතකදී යුරෝපය පුරා ගුවන් යානාවලට එල්ල වූ ව්‍යාජ බෝම්බ තර්ජන සමග සෘජු සබඳතාවක් පවතින බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැත.
මේ අතර අමෙරිකාවේ ජාතික කාලගුණ සේවයේ ද සන්නිවේදන බිඳවැටීමක් වාර්තා වී ඇති අතර, මෙම සිදුවීම් දෙක අතර සබඳතාවක් තිබේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා විමර්ශයක් ක්‍රියාත්මකය.


