brand logo
logo
 ජනාධිපති අරමුදලින් දකුණු පළාතේ 2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලින් දකුණු පළාතේ 2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

24 October 2026


අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දකුණු පළාත් වැඩසටහන අද (24) පෙරවරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරෙන අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


ඒ අනුව, දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03හි විෂයධාරා 06 යටතේ පළවන ස්ථානයේ සිට විසිවන ස්ථානය දක්වා ලබාගත් සිසුන් 360 දෙනෙකු මෙහිදි ඇගයීමට ලක් කෙරිණි.


ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිසුන් සංඛ්‍යාව මේ වසරේ සිට දෙගුණයකින් ඉහළ නංවා තිබීම විශේෂත්වයක් වන බව අදාළ නිවේදනයේ දැක්වේ.


මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, අතීතයේදී වැරදි භාවිතයන්ට ලක්වූ ජනාධිපති අරමුදල මේ වන විට පොදු ජනතාවගේ අරමුදලක් ලෙස ජනතා අභිවෘද්ධිය උදෙසා පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවය.


මෙරට දරුවන්ගේ අධ්‍යාපන ගමනට ශක්තියක් වෙමින්, ඔවුන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල කැපවීමෙන් සහ අධිෂ්ඨානශීලීව පියවර රැසක් ගෙන ඇති බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.


කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින්, රටේ සියලු දරුවන්ට ගුණාත්මක සහ ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාදීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම අවධාරණය කළාය.


එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති අරමුදල ඉටු කරන කාර්යභාරයද අමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ බව සඳහන්ය.


දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාද සිසු දරුවන් අමතමින්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඔවුන්ට මුහුණදීමට සිදුවන දුෂ්කරතා අවම කරගනිමින්, විවිධ අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා ජනාධිපති අරමුදල ඉදිරිපත් වී සිටීම අගය කළේය.

 

More News..