brand logo
logo
අවුරුදු  හතරකට පස්සෙත්  ආදරේ  වෙනස් වෙලා නැහැ

අවුරුදු හතරකට පස්සෙත් ආදරේ වෙනස් වෙලා නැහැ

05 November 2026 | රුවන් එස්. සෙනවිරත්න


හර්ෂි අංජුමාලා කියන්නේ කාලයක් පුංචි තිරයේ විශාල ජනප්‍රියත්වය හිමිකරගෙන සිටි නිළියක්. ඒත් වසර කිහිපයකට පෙර විදෙස්ගත වීම නිසා පසුගිය කාලයේ ඇය කලා ක්ෂේත්‍රයේ දකින්න ලැබුණේ නෑ. ඒ නිසාම හර්ෂි අංජුමාලා රංගනයට සමුදීලද කියන ප්‍රශ්නාර්ථයත් ඇයට ආදරේ කළ ප්‍රේක්ෂකයන්ගේ හිතේ තිබුණා. ඒත් මීට ටික කලකට ඉහත යළිත් මෙරටට පැමිණි ඇය කලා කටයුතු කීපයක් වෙනුවෙන් සම්බන්ධ වී පසුගියදා නැවතත් විදෙස්ගත වුණා.


ඔබ පසුගියදා ලංකාවට ඇවිත් ගියා නේද?


ඔව්, මම ලංකාවට ඇවිත් මාස කීපයක් ඉඳලා රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙලා යළිත් පසුගියදා විදෙස්ගත වුණා.


මේ සැරේ ඇවිත් හර්ෂි රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතුවේ මොකද?


ඇත්තටම විදෙස්ගත වුණාට පස්සේ මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. අවුරුදු හතරකින් වගේ රඟපෑවේ නෑ. ඒ නිසා මේ සැරේ ලංකාවට ආවේ කලා කටයුත්තකට සම්බන්ධ වෙන්න බලාගෙනමයි. ඒ ‍ඇවිත් සතියක් විතර ඉන්නකොට ටෙලි නාට්‍යයකින් ආරාධනා ලැබුණා.


මේ දිනවල ජනප්‍රිය ඒ ටෙලි නාට්‍යය ගැනත් අපි කියමු නේද?


ඒ ‘අමුතු සංක්‍රාන්තිය’ ටෙලි නාට්‍යය. ඒක කපිල සමරකෝන් අයියගේ නිර්මාණයක්. ඊට චානුක ප්‍රබුද්ධ, තරින්දි ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, රශිපබා සන්දීපනී, රමණි සිරිවර්ධන, බුද්ධදාස විතානාරච්චි, රොෂාන් පිලපිටිය වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවෙනවා.


දීර්ඝ කාලෙකින් ප්‍රේක්ෂකයන් මුණගැහුණු ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


වසර කීපයකින් රඟපෑවේ නැති නිසා මටත් ඒ ගැන මුලදි චකිතයක් තිබුණා. ඒත් මට කියන්න සතුටුයි, අවුරුදු හතරකට පස්සෙත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරේ කිසිම වෙනසක් නෑ. ඒ ආදරේ වෙනදා වගේම ලැබුණා. ඒ ගැන සතුටුයි.


ඔබ කලාවෙන් දුරස් වෙලා හිටපු අවධියේ ආයෙත් රඟපාන්නේ නැද්ද කියලා අහලා බලපු ප්‍රේක්ෂකයෝ හිටියද?


ඇත්තටම ඔව්, සමහරක් ප්‍රේක්ෂකයෝ එහෙම අහපු වෙලාවල් තිබුණා.


කලාවෙන් දුරස් වෙලා හිටපු කාලයේ ඔබට මොකද හිතුනේ?


මං නිළියක් විදිහට තැනකට එන්න සෑහෙන්න මහන්සි වුණු කෙනෙක්. ලොකු කැපකිරීමක් ඒ වෙනුවෙන් කරලා තියෙනවා. අවසානේ නිළියක් විදිහට මං රංගන ක්ෂේත්‍රයේ හොඳ තැනකට ආවා කියලත් මං හිතනවා. ඒ වෙනකොට මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ඒක දැනුනා. ඒ වගේ තැනක ඉන්නැද්දි කලාවෙන් දුරස් වෙන්න වුණු එක ගැන මුලින් ලොකු දුකක් දැනුනා. ඒක ටිකක් හරි නැතිවුනේ සමාජමාධ්‍ය හරහා මගේ ප්‍රේක්ෂකයෝ නිතරම වගේ මගේ එක්කම හිටපු නිසා.


විදෙස්ගත වෙලා හිටියත් රඟපාන්න නම් ආරාධනා ලැබෙනවලු නේද?


ඔව්, ඒක ඇත්ත. මිහිර සිරිතිලක අයියා, තිළිණ බොරලැස්ස අයියා වගේ අය ඔවුන්ගේ අලුත්ම නිර්මාණවලට මට කතා කළා. ඒත් විදෙස්ගතව හිටපු නිසා ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැරිවුණා.


හර්ෂිට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුනේ කොහොමද?


ඇත්තටම ඒක හරි අහම්බෙන් සිදුවුණු දෙයක්.


අපිත් කැමැතියි හර්ෂි ඒ කතාව දැනගන්න?


මං 2008 දි දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියට නර්තන අංශයෙන් සහභාගි වුණා. එදා මම තමයි ඒකෙ වයස අවුරුදු 12 න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම තරුව වුණේ. ඒ ජයග්‍රහණය එක්ක පසුකාලීනව මට කලා ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා ලැබුණා.


ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ ‘සිදූ’ ටෙලි නාට්‍යය නේද?


ඔව්, ‘සිදූ’ ටෙලි නාට්‍යයෙන් පස්සේ හාරත හේරා, සකල ගුරු, රාජිනී, කණාමැදිරියෝ වගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවකම හිටියා. එදා විදෙස්ගත වෙන්න කලින් මං අවසානෙට රඟපෑවේ දෙරණ නාළිකාවේ විකාශනය වූ ‘රාජිනී’ ටෙලි නාට්‍යයේ.


පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?


පුංචි කාලේ ඉඳන්ම මට කලාව පැත්තට ලොකු නැඹුරුවක් තිබුණා. ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි හීන දැක්කේ. අම්මා කියනවා, මං පොඩි කාලේ ටීවී බලලා ඒකෙ පෙන්වන චරිත කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා රඟපානවලු.


හර්ෂි කියන්නේ හොඳ නර්තන ශිල්පිනියක් කියන එකත් රහසක් නෙවෙයි?


ඇත්තටම නර්තනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක් කිව්වොත් හරි.මම කාලයක් මෙහේ දරුවන්ට නර්තන පන්ති පවා කළා.


ඒ විතරක් නෙවෙයි, ඔබගේ තවත් දක්ෂතා තියෙනවා. එහෙම නේද?


ඔව්, නිවේදිකාවක් සහ හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් මං කටයුතු කරලා තියෙනවා.


හර්ෂි සාමාන්‍යයෙන් විවේකය ගත කරන්න කැමැති කොහොමද?


මං ගොඩාක් ඇවිදින්න ආසයි. එහෙම නැත්නම් ෆිල්ම්ස් බලන්න ආසයි.


හර්ෂි ඇරුනම පවුලේ වෙන ඉන්නේ කවුද?


මට ඉන්නේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි.


මේ ගෙවුනු ජීවිතේ සතුටුම දවස මොකක්ද කියලා මං ඔබෙන් ඇහුවොත්?


එහෙම අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් මට ලිට්ල් ස්ටාර් ජයග්‍රහණය විශේෂයි. මොකද අද මං ඉන්න තැනට එන්න ලොකුම ආශිර්වාදය වුනේ ඒ ජයග්‍රහණය කියලා මං හිතනවා. ඒ නිසා ඒ දවසට මං හරිම ආදරෙයි.

 

More News..