brand logo
logo
​හොර පාරෙන් පිටරටට මුදල් යැවූ සමාගම් 17ක් ගැන විමර්ශන

​හොර පාරෙන් පිටරටට මුදල් යැවූ සමාගම් 17ක් ගැන විමර්ශන

04 October 2026 | නයෝමි කරුණාසිංහ


විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව හඟමින් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට මුදල් ප්‍රේෂණය කළ තවත් සමාගම් 17ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.


එම කොට්ඨාසය සඳහන් කරන්නේ මෙම සමාගම් බොහෝ දුරට එක් පුද්ගලයකු හෝ දෙදෙනකු විසින් පවත්වාගෙන යන සමාගම් බවට සැකකරන බවයි. සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් ක‍ළේය.


2023-01-01 සිට 2025-09-30 දක්වා කාලය තුළදී අදාළ සමාගම් 17 සහ මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මෙරටින් රුපියල් කෝටි 19,000ක මුදලක් යවා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. ඉන් රුපියල් කෝටි 13,000ක මුදලක් යවා ඇතැයි කියන්නේ මේ වන විට නීතිමය පියවර ගෙන ඇති සමාගම් 72 මගින් බවද අනාවරණය වී ඇත. මේ සඳහා සැකකරුවන් කොළඹ පිහිටි පෞද්ගලික හා රාජ්‍ය බැංකු 6ක් උපයෝගී කරගෙන ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවැසීය.


මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනා Red Flag Countries හෙවත් අවදානම් සහගත රටවල් වන බ්‍රසීලය, පැනමාව, මුරුසු හා මැඩගස්කරය ආදී රටවල් කිහිපයකටද මුදල් යවා ඇති බවට හඳුනාගෙන ඇත. මෙම රටවල් මුදල් විශුද්ධිකරණය යටතේ අවදානම් සහගත රටවල් ලෙස නම් කර ඇති ඒවා වන බව වාර්තා වේ. එම රටවලින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකරන බව විමර්ශන නිලධාරීහු පැවැසූහ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් හරහා මුදල් විදෙස් රටවලට සම්ප්‍රේෂණය කර බදු වංචා කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි 100කට ආසන්න දඩමුදලක් ​රේගුව විසින් පනවා ඇති බව වාර්තා වේ. ප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසල් දෙකක හිමිකරුවන් දෙදෙනකුට රුපියල් කෝටි 45ක දඩයක් හා රුපියල් කෝටි 30ක දඩයක්ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සහ නිෂ්පාදන සමාගම් සමූහයකට රුපියල් කෝටි 18ක දඩයක්ද පනවා ඇත. ඔවුන් විසින් පැහැර හැරි බදු මුදල මෙන් තුන් ගුණයක් මෙහිදී අයකිරීමට නියමිතය.


දිගින් දිගටම වන විමර්ශන හේතුවෙන් මේ වන විට ටිටී ක්‍රමය හරහා මුදල් යවන පිරිස සියයට 90කින් පමණ අඩුවී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවැසීය.

 

More News..