brand logo
logo
ෆේස්බුක් හොරබඩු සහ හිරිවැටුණු පාරිභෝගික අයිතිවාසිකම්

ෆේස්බුක් හොරබඩු සහ හිරිවැටුණු පාරිභෝගික අයිතිවාසිකම්

06 November 2024

තට්ටයේ කෙස් වවන බවට සහ සුදු කෙස් ස්ථිරව කළු කරන බව කියමින් හිසේ ආලේප කරන ව්‍යාජ තෙල් වර්ගයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් ඔන්ලයින් ක්‍රමයට විකුණුවේ යැයි කියන ආයතනයකට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇතැයි ඊයේ ‘අරුණ’ මුල් පිටුවේ පුවතක සඳහන් වේ.


ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක නිෂ්පාදනයක් අනුකරණය කරමින් එම දෙපාර්තමේන්තුවේ කිසිදු ලියාපදිංචියක් නොමැති මේ තෙල මෙලෙස විකිණීම ගැන පාරිභෝගික අධිකාරිය ස්වයංව ක්‍රියාත්මක වුණා නොව, මේ සියලු පියවර ගෙන තිබුණේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒ ගැන දැනුම්දීමෙන් පසුය. බොහෝ විට ආයුර්වේද දෙපාර්තමේන්තුවද මේ වෙනුවෙන් ස්වයංව ක්‍රියාත්මක වුණා නොව මෙම තෙල් අනුකරණය නිසා අගතියට පත් පාර්ශ්වයකින් ලැබුණු පැමිණිල්ල මත ඔවුන් මෙලෙස පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කළා විය හැකිය.


මෙයින් කියැවෙන්නේ, කවුරුන් විසින් හෝ ඇඟිල්ලෙන් ඇන පෙන්නුවේ නැතහොත්, ඔන්ලයින් වේදිකාව යොදාගනිමින් සිදුකරන ජාවාරම් ගැන අදාළ රාජ්‍ය ආයතන නොදුටු දෑස්ව නෑසු කන්ව සිටින බවද?


අද ඔන්ලයින් වෙළෙඳ භාණ්ඩ වැහි වැහැලාය. ඇටෙන් පොත්තෙන් පැමිණි එකාගේ සිට හැරමිටියෙන් යන කෙනා දක්වා ‍ෆේස්බුක් ආදී සමාජ ජාලා පරිහරණය කරන විට, මේ කියන්නා වූ ඔන්ලයින් වෙළෙඳ භාණ්ඩ ඉතාම පහසුවෙන් ගෙයක් ගෙයක් පාසා ප්‍රචාරණය කරගත හැකිය. නමුත් ගැටලුව ඇත්තේ ඒ ප්‍රචාරණයේ කිසිදු වගකීමක් නොවීමය. ඕනෑම කුණුගොඩක් හරි අපූර්වත්වයකින් ගෙන හැර දක්වා කාගේ හෝ ඇඟේ ගැසීමට මේ ෆේස්බුකිය කියාපු තැනකි.


අද එහි වරක් දෙවරක් උඩට පහළට යන විට නා නා විධ උපකරණ, ඖෂධ, විලවුන්, රූපලාවණ්‍ය නිෂ්පාදන ආදිය දුසිම් ගණනක් ගෙදරටම ගෙන්වාගත හැකි ආකාරය දැක්වෙන්නේය. නමුත් මේවායේ නිෂ්පාදන ප්‍රමිතිය පිළිබඳ සහතිකයක්, බෙදාහරින ස්ථානයේ ලිපිනයක්, මෙම භාණ්ඩය පිළිබඳ සෑහිමකට පත්නොවන්නේ නම් නැවැත එය භාරදී ආපිට මුදල් ලබාගැනීමට ඇති හැකියාව ආදී කිසිවක් සඳහන් නොවේ. ඡායාරූප සහ වීඩියෝ ආදිය යොදාගනිමින් මෙම නිෂ්පාදනය ‘පන පිහිටුවා’ පෙන්වන නිසා එය සැබැවින්ම වැඩදායක හෝ ප්‍රතිඵලදායක යැයි සිතා මිනිස්සු මේවා මිලදී ගනිති.


‍ෆේස්බුක් වෙළෙඳ දැන්වීමේ පළව ඇත්තේ ‘පට්ට බොරුවක්’ බව පාරිභෝගිකයා දැනගන්නේ භාණ්ඩය අතට ලැබුණු පසුය. වානේවලින් නිෂ්පාදිත කල්පවතින භාණ්ඩයක් ලෙසින් ෆේස්බුක් වෙළෙඳ දැන්වීමේ පෙන්නුම් කළද අතට ලැබුණු විට ඇත්තේ නියම නිෂ්පාදනයේ හැඩය අනුකරණය කළ සෙල්ලම් බඩුවක් මෙන් ප්ලාස්ටික් කැබැල්ලකි. මෙය සහමුලින්ම පාරිභෝගිකයා නොමග යැවීමකි.


මිනිසුන් පීඩා විඳින ලෙඩ රෝග විකුණන් කෑම පිණිස සැදී පැහැදී සිටින ජාවාරම්කරුවන්ට ෆේස්බුකිය යනු පනින රිලවුන්ට බැඳි ඉනිමගකි. අට අනූවක් රෝග සඳහා සුපිරි විසඳුම් යැයි සඳහන් බෙහෙත් විකුණන්නට ඇති ‍ෆේස්බුකිය විටෙක තනිකරම ඖෂධාලයකි. ගැටලුව වනුයේ ඒ කිසිදු ඔසුවක් සම්බන්ධයෙන් වගකීම ගැනීමට වෛද්‍යවරයෙක් හෝ වෙදමහතෙක් එහි නොවීමය. නමුත් ලෙඩකින් වේදනා විඳින හෝ ලොව හමුවේ ලෙඩේ කියන්නට මැලිවන මිනිසුන්ට මේ ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පෙනෙන්නේ ජීවක වෙද මහතා විසින් පළ කරන ලද ඒවා ලෙසිනි. එහෙත් තට්ටය මකන තෙල, හිස් කබලේ උඩු හමද මකා දමා ඇතැයි වැටහෙන්නේ භාවිතයට ගෙන බැලූ විටය.


අදාළ භාණ්ඩය හෝ බෙහෙත ගෙනැවිත් දුන්නාට පසු කිසිම අංකයකින් නැවැත ඒ සැපයුම්කරුවන් ඇමතිය නොහැකිය. නංගි පෙන්වා අක්කා නොව ආච්චිව දුන්නද ඒ ගැන පැමිණිල්ල භාරගැනීමට සැපයුම්කරුවෙක් නැත. මේ ආකාරයේ ගල් පැලෙන ‘ඩිජිටල් පච’වලට හසුවන්නේ අයෙක් දෙදෙනෙක් දුසිමක් දෙකක් නොව, රටක් මේවාට හසුවෙති. නමුත් පාරිභෝගික අධිකාරිය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් ඒ ඉතාම විරල වශයෙනි.


එනිසා අන්තර්ජාලය හෝ විශේෂයෙන් ‍ෆේස්බුක් ඔස්සේ මෙවැනි භාණ්ඩ විකිණීම්වලදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීමෙන් නොපමාව හඳුන්වා දිය යුතුය. යමෙක් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ විකුණයි නම් එහි ප්‍රමිතිය තහවුරු කරගනිමින් අදාළ විකිණීම සඳහා බලපත්‍ර අංකයක් නිකුත් කිරීම, සැපයුම්කරුගේ ස්ථිර ලිපිනය, පැමිණිලි භාරගැනීමේ අංක, මෙන්ම පාරිභෝගිකයා සුරැකෙන කොන්දේසි මාලාවක්ද පැනවිය යුතුය. එසේ නොවුණහොත් ෆේස්බුකිය යොදාගනිමින්, හිමාලයෙන් ගෙනා කස්තුරි යැයි පවසා පුත්තලමේ බූරු වසුරු විකිණීමට වුව අපේ ‘අයියලා’ පෙළඹෙනු ඇති අතර ‘කවුරු කාට මොක විකුණුවද අපට මොකෝ’ යන හැඟීමෙන් යුතුව පාරිභෝගික අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය අංශ නෑසු කන්ව, නොදුටු දෑස්ව සිටිනු ඇත.


‍ෆේස්බුක් ආදිය යොදාගනිමින් සිදුවන මෙවැනි අකටයුතුකම් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ යෙදුම් (ඇප්) යොදාගනිමින් මෙරට සිදුවන සමහර ව්‍යාපාර ද එක්තරා ආකාරයක ජාවාරම් ස්වරූපයක් ගනියි. එලෙස ආහාර සපයන එක්තරා ජාත්‍යන්තර නාමයක් සහිත සමාගමක ආහාර ඇණවුම සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට හෝ විමසීමක් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හෝ නොමැත. යම් ලෙසකින් ඔන්ලයින් ක්‍රමයට මුදල් ගෙවා ඇණවුම් කළ ආහාර පාර්සලය රැගෙන එන පැදිකරුවා එය ඇණවුම් කළ තැනැත්තාට භාර නොදී එය භාරදුන් බවට බොරුවක් කළද, භාර නොදී ආපසු හැරීගොස් අදාළ ලිපිනයේ එය භාරගැනීමට කිසිවෙක් නොසිටි බවට බොරුවක් කළද, එම ආහාරය කෑමට නුසුදුසු තත්ත්වයේ තිබෙන්නේ වුවද (ක්ෂණික ඇමතුම් අංකයක් නොමැති නිසා) පාරිභෝගිකයාට ඒ මොහොතේ තමන්ට සිදුවූ අසාධාරණය පවසා සාධාරණයක් ඉටුකරගැනීමට ක්‍රමයක් නොමැත. ඒ පාඩුව පාරිභෝගිකයා විසින් දරාගත යුත්තේය. අවම වශයෙන් එලෙස අසාධාරණයකට ලක්වූවෙක්ගෙන් ලැබෙන පැමිණිල්ලක් විභාග කිරීම සඳහා චූදිත ආයතනයේ වගකිවයුත්තෙක් ගෙන්වා ගැනීමට පාරිභෝගික අධිකාරිය සතුව හෝ මේ ජාත්‍යන්තර ආයතනයේ අංකයක් නොමැත.


ආහාර වැනි සංවේදී දෙයක් වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම්වලටත් එසේ වගකීම් විරහිතව හැසිරෙන්නට මේ රටේ ඉඩ ලැබෙන්නේ නම් ‘ඇඩ්‍රස් නැති’ සැපයුම්කරුවෙක්ට ෆේස්බුකිය යොදාගනිමින් මොනවා කරන්නට බැරිද?

 

More News..