සිම්බාබ්වේ දිවැසිවර Uebert Angel අත්අඩංගුවට
23 November 2026
සිම්බාබ්වේ දිවැසිවර Uebert Angel අත්අඩංගුවට
23 November 2026
පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත දිවැසිවර යූබට් ඒන්ජල් අද (23) අත්අඩංගුවට ගත් බව සිම්බාබ්වේ පොලීසිය තහවුරු කර ඇත.
බැතිමතුන් ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදී පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණ එම ස්ථානයට කඩා වැදී ඔහුට මාංචු දමා දේවස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව සඳහන් වේ.
පැමිණිලි ඉදිරිපත් කළේ කවුරුන්ද, පැමිණිලිකරුවන් කී දෙනෙකු සිටීද හෝ අදාළ සිදුවීම් කවදා සිදු වූයේද යන්න පොලිසිය මෙතෙක් අනාවරණය කර නොමැත.
එමෙන්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් පිළිබඳවද මෙතෙක් නිවේදනය කර නැත. යූබට් ඒන්ජල් ද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, ඔහු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටින්නේද යන්න පවා අපැහැදිලි බව විදෙස් මාධ්‍ය පවසයි.
සිම්බාබ්වේ නීතිය යටතේ 'අස්වාභාවික ලිංගික ක්‍රියා' යන්න පිරිමින් දෙදෙනෙකු අතර කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවන් ලෙස අර්ථ දැක්වෙන අතර, කැමැත්තෙන් තොරව සිදුකරන ලිංගික ක්‍රියා 'අශෝභන ලෙස පහරදීම' ඇතුළු වෙනත් වැරදි යටතේ නඩු පවරනු ලැබේ. කෙසේ වෙතත් මෙම චෝදනා දෙක ඔහුට අදාළ වන්නේ කෙසේදැයි පොලිසිය පැහැදිලි කර නැත.
මීට පෙර පසුගිය මාර්තු මාසයේදී බුලවායෝ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක්, 2025 මාර්තු මාසයේදී හිපොඩ්රෝම් දේවස්ථානයේ පිහිටි ඒන්ජල්ගේ කාර්යාලය තුළදී ඔහු තමාට අශෝභන ලෙස ලිංගික අතවර කළ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීම එම පැමිණිල්ලට අදාළ එකක්ද යන්න තවමත් තහවුරු වී නොමැත.
උපතින් යූබට් මුඩ්සනිරේ (Uebert Mudzanire) නම් වූ ඔහු, 2021 මාර්තු මාසයේදී ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා විසින් යුරෝපය සහ අමෙරිකාව සඳහා විශේෂ ජනාධිපති නියෝජිතයා සහ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
මීට පෙර 2023 වසරේදී අල් ජසීරා (Al Jazeera) නාලිකාව විකාශය කළ 'Gold Mafia' ගවේෂණාත්මක වැඩසටහන මගින්ද ඒන්ජල් දැඩි විවේචනයට ලක්විය. රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණ ජාලයක කොටසක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් සිම්බාබ්වේ වෙත රැගෙන ඒමට තම රාජ්‍ය තාන්ත්‍රික බලය භාවිත කිරීමට ඔහු ඉදිරිපත් වන ආකාරය එහිදී රහසිගත කැමරා මගින් හෙළිදරව් වී තිබුණි.
මෙම චෝදනා අධිකරණය හමුවේ මෙතෙක් ඔප්පු වී නොමැති අතර, අත්අඩංගුවට ගැනීමක් යනු වරදකරුවෙකු කිරීමක් නොවන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


