ෆෝමියුලා 3 නිමාවද්දී යෙවාන්ට 18 වැනි තැන
14 September 2026
ෆෝමියුලා 3 නිමාවද්දී යෙවාන්ට 18 වැනි තැන
14 September 2026
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ධාවන පථයේ පැවැති ෆෝමියුලා 3 කාණ්ඩයේ මෝටර් රථ ධාවන තරගාවලියේ අවසන් අදියරේ දෙවැනි 'ෆීචර්' තරගයේ දී 10වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් ඊයේ (13 වැනිදා) සමත් වූ අතර ඒ සමගින් ඔහු සමස්ත තරගාවලියේ රියැදුරු ශ්‍රේණිගත කිරීමෙහි 18 වැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත් විය. මෙම අදියර සමගින් මෙවර ෆෝමියුලා 3 තරගාවලිය නිමාවට පත් විය.
ෆෝමියුලා 3 කාණ්ඩයේ මෝටර් රථ ධාවනය අරඹමින්, එම කාණ්ඩයේ ආධුනික ධාවකයෙක් (Rookey) ලෙස සිය පළමු තරගාවලියට සහභාගි වූ යෙවාන් සමස්ත රියැදුරන් 35ක් අතුරින් ප්‍රසාද ලකුණු 35ක් හිමිකර ගනිමින් 18 වැනි ස්ථානයට පත්වීම කැපී පෙනෙයි.
ඊයේ අවසන් වූ මැඩ්රිඩ් අදියරෙහි 'ස්ප්‍රින්ට්' තරගයේ 16 වැනි ස්ථානයත්, පළමු 'ෆීචර්' තරගයේ 11 වැනි ස්ථානයත් හිමිකරගත් යෙවාන් දෙවැනි 'ෆීචර්' තරගයේ 10 වැනි ස්ථානය හිමිකර ගනිමින් තරගාවලිය නිමාවට පත් කළේය. මෙහි 10 වැනි ස්ථානය හිමිකර ගැනීමත් සමග එක් ලකුණක් ඔහුගේ පුද්ගලික ප්‍රසාද ලකුණු ගොන්නට එක්විය.
ඇමරිකානු මෝටර් රථ ධාවක යූගෝ ඌගෝචුක්වු ප්‍රසාද ලකුණු 159ක් හිමිකර ගනිමින් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර, අනු ශූරතාව ලකුණු 145ක් හිමිකරගත් බ්‍රිතාන්‍ය ධාවක ෆ්‍රෙඩී ස්ලැටර් වෙතත්, තෙවැනි ස්ථානය ලකුනු 109ක් රැස් කළ ෆින්ලන්ත ධාවක ටූක්කා ටැපොනෙන් වෙතත් හිමිවිණි.

