brand logo
logo
පවන් - ජනිත් - දිල්ශාන් ශ්‍රේණිගත කිරීමේ ඉහළටම

පවන් - ජනිත් - දිල්ශාන් ශ්‍රේණිගත කිරීමේ ඉහළටම

29 October 2026


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමෙහිදී මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉහළ දස්කම් දක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන පවන් රත්නායක, ජනිත් ලියනගේ සහ දිල්ශාන් මධුසංක එහි ඉහළ ස්ථාන හිමිකර ගැනීමට ඊයේ (28 වැනිදා) සමත්ව තිබේ.


ඒ අනුව තුන්කොන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින පවන් රත්නායක ශ්‍රේණිගත කිරීම් ස්ථාන 39ක් ඉහළට එමින් 38 වැනි ස්ථානය හිමිකරගෙන සිටින්නේ සිය දිවියේ ඉහළම දර්ශක අගය වන ලකුණු 548ක් ලබා ගනිමිනි. එසේම එංගලන්තයට එරෙහි තරගයේදී විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කළ ජනිත් ලියනගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 10ක් ඉදිරියට එමින් සම 14 වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර, ඔහු ද සිය දිවියේ ඉහළම දර්ශක අගය වන ලකුණු 620ක් රැස්කරගෙන සිටියි. ඔහු මේ වන විට අයර්ලන්ත පිතිකරු හැරී ටෙක්ටර් සමග සම තැනට පත්ව තිබේ.


පෙරේදා (27 වැනිදා) පාකිස්තානය සමග පැවැති තරගයේදී කඩුලු 5ක් දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ දිල්ශාන් මධුසංක ස්ථාන 20ක් ඉදිරියට එමින් සිම්බාබ්වේ ක්‍රීඩක රිචඩ් න්ගරාවා සමග සමග සම 36 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි. ඔහු ලබා සිටින දර්ශක අගය ලකුණු 516කි. ඔහුට අමතරව පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 8ක් ඉදිරියට පැමිණෙමින් දුනිත් වෙල්ලාලගේ 19 වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහුට හිමිව ඇති දර්ශක අගය 567ක් හිමිකරගෙන ඇත. එසේම දුනිත් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් ද එක් ස්ථානයක් ඉදිරියට එමින් 17 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.


කෙසේ වෙතත් කලකට පසුව එක්දින කණ්ඩායමට එක්වෙමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ දසුන් ශානක තවමත් ශ්‍රේණිගත කිරීම් සඳහා ඇතුළත් වී නොමැත.

 

More News..