රජයේ පශු වෛද්‍යවරුන් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක
15 November 2026
රජයේ පශු වෛද්‍යවරුන් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක
15 November 2026
රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය, පහසුකම් නොමැතිකම, අයවැයෙන් සුදුසු දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් එළඹෙන නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, රටේ රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍ය නිලධාරීන් 931 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 600ක පමණ පිරිසක් බවය.
එම නිලධාරීන් පිරිස විසින් නිලධාරීන් 931 දෙනෙකුගෙන් ඉටුවිය යුතු රාජකාරි ප්‍රමාණය ඉටුකරමින් සිටියද, ඒ සඳහා රජයෙන් කිසිදු ඇගයීමක් හෝ සාධාරණ දීමනාවක් ලබාදීමට කටයුතු කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
2027 අයවැයට ඉදිරිපත් කිරීමට පෙර, අමතර රාජකාරි දීමනාවක් ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් අයවැයේ දී නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද සභාපතිවරයා පැවසීය.
පශු වෛද්‍ය නිලධාරීන්ට අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමිවන මූලික කාර්යාල පහසුකම් පවා නොලැබෙන තත්ත්වයක් පවතින බවත්, ඇතැම් ප්‍රදේශවල අබලන් කාර්යාලවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල සේවා පවත්වාගෙන යන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රමාණවත් නිල වාහන නොමැති බැවින් ඇතැම් අවස්ථාවල පෞද්ගලික වාහනවලින් හෝ ත්‍රිරෝද රථ කුලියට ගෙන රාජකාරි සඳහා යාමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයක් බව පෙන්වා දුන් සභාපතිවරයා, එම අවශ්‍යතාවයෙන් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් කුඩා හා මධ්‍යම පරිමාණයේ ගොවි ජනතාව හරහා සැපයෙන බවද සඳහන් කළේය.
එම ගොවි ජනතාවට අවශ්‍ය සේවා සැපයීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ට බවත්, එවැනි වැදගත් සේවාවක් ඉටුකරන නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අමාත්‍ය ලාල්කාන්ත මහතාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ඒ සඳහා නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවටද සංගමයේ සභාපතිවරයා චෝදනා කළේය.
මේ අතර, පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත්, නව නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ප්‍රමාණවත් නොවන අතර දැනට සේවයේ නිරත නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර සේවයෙන් ඉවත්වීමේ ප්රවණතාවක්ද පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
නොවැම්බර් 17 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අනතුරුවද රජය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදී නොවන්නේ නම්, 2027 වසරට අදාළ සියලු සංවර්ධන වැඩසටහන්වලින් ඉවත්වීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවද උපුල් රංජිත් කුමාර මහතා අනාවරණය කළේය.
ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් මෙන්ම රේඛීය අමාත්‍යාංශය, ප්‍රධාන කාර්යාලය සහ වෙනත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වලින්ද ඉවත්වීමට තීරණය කර තිබේ.
එමෙන්ම නොවැම්බර් මාසයේ සිට සියලු වාර්තා ඉහළට ඉදිරිපත් කිරීම අත්හිටුවීමටත්, දේශපාලන මැදිහත්වීම් සහිත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඇතුළු රැස්වීම්වලට සහභාගී නොවීමටත් තීරණය කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


