roadBlockAd
brand logo
logo
මගේ ගීත අස්සේ එයාලගේ ආදර කතා තියෙනවා

මගේ ගීත අස්සේ එයාලගේ ආදර කතා තියෙනවා

07 August 2025 | රුවන් එස්. සෙනවිරත්න

හඬට වගේම රුවටත් රසික ආදරේ ලැබෙන මේ කාලයේ ජනප්‍රියම ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා. ඇයගේ ගීතවලට වයස් භේදයක් නැතිව හැමෝම කැමැතියි. දිල්කිගේ ගීත අතරින් සත්තයි මට ඔබ වාගේ, මාගෙත් ආයුෂ, මගෙන් දුර, හුස්මක් තරමට වැනි ගීත අතිශය ජනප්‍රිය වූ ගීත. පසුකාලීනව ඒ ගීත ඇගේ හඬින්ම ප්‍රසංග වේදිකාවෙත් අහන්න ලැබුණා. විවාහයත් සමග කලක් විදේශ ගතවෙලා හිටියත් දැන් ඇය යළිත් ස‍ංගීත වැඩ කටයුතු එක්ක දකින්න පුළුවන්. ඒක නිසාම අපි මෙවර දිල්කි උරේෂා එක්ක කතාබහ කරන්න හිතුවා.


ඉතින් දිල්කි මේ දිනවල ඔබේ සංගීත වැඩ කටයුතු එහෙම කොහොමද?


සුපුරුදු විදිහටම වැඩ ටික කරගෙන යනවා. මේ ටිකේ අලුත් ගීත කිහිපයක් වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ අතරේ සංගීත ප්‍රසංගවලටත් යනවා.


දිල්කි පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කෙත් ගායිකාවක් වෙන්නලු නේද?


පුංචි කාලේ ඉඳන් කියන්නේ පාසල් යන කාලේ ඉඳන් වගේ ගායිකාවක් වෙන ආසාව තිබුණා. ඒ වුණාට ගායිකාවක් වෙලා මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා නම් කීයටවත්ම මං හිතුවේ නෑ.



ඇත්තටම ඔබට එදා ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?


ගායන ක්ෂේත්‍රයට එන්න ලැබුණේ ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයෙන්. ඊට පස්සේ මගේ ගීත හරහා සංගීත ක්ෂේත්‍රයේ ගමන හදාගත්තා. ඒ වගේම කියන්නම ඕන ඒ ගමනේ එක හැරවුම් ලක්ෂ්‍යයක් තමා ‘සත්තයි මට ඔබ වාගේ’ කියන ගීතය. ඒක ලංකාවේ හුඟාක් ජනප්‍රිය වුණා. මාව දන්නේ නැති මිනිස්සු පවා මාව දැනගත්තේ ඒ ගීතයෙන් පස්සේ. ඒ ගීතයේ පද රචනය නිසල් ප්‍රනාන්දුගේ. සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දු. ඒ ගීතයට තමයි මගේ ගීතවලින් වැඩිපුර ප්‍රතිචාර ලැබුණෙත්.


ඔබ වැඩිපුරම ගායනා කරලා තියෙන්නේ ආදර ගීත නේද?


ඇත්තටම ඔව්. ආදර ගීත තමයි ගොඩක් කළේ.


ඒ ගීත අහලා රසික රසිකාවියන්ගෙන් මේ වෙනකොට ඔබට එන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර හොඳටම හොඳයි. නරක ප්‍රතිචාර නම් ලැබිලම නැති තරම්. ඒ ගැන ගොඩාක් සතුටුයි.


ඒ අතර අමතක නොවන විදිහේ ප්‍රතිචාර එහෙමත් ඇති නේද?


මගේ සමහර ගීත අස්සේ තියෙන්නේ එයාලගේ ආදර කතාව කියලා ගොඩාක් අය කියනවා. ඒක මගේ හිතට තදින්ම දැනෙන විදිහේ ප්‍රතිචාරයක් කිව්වොත් හරි.



දිල්කි, ඔබට ප්‍රසංග වේදිකාවෙනුත් ලොකු ඉල්ලුමක් තියෙනවා?


අනේ ඔව්. ඒ අතින් නම් හරිම වාසනාවන්තයි.


මිනිස්සු දහස් ගාණක් ඉදිරියේ ගී ගයන්න ලැබීම මොන වගේ හැඟීමක්ද?


කෙටියෙන්ම කිව්වොත් එකම වෙලාවක රසික රසිකාවියන් දහස් ගණනක් ඉදිරියේ ගයන්නට ලැබීම සහ එයාලව ගීතයෙන් පිනවන්න ලැබීම ලොකු සතුටක්.


දිල්කි ගායිකාවක් නොවුණා නම් අද මොන වගේ වෘත්තියක නියැලෙයිද?


ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවක් කරයි. නැත්නම් ගුරු වෘත්තිය වගේ එකක් තෝරගනියි.


දිල්කි එන්න එන්නම හැඩවෙනවා. රහසක් තියෙනවද?


මං මාව ලස්සනට බලාගන්නවා ඇරෙන්න වෙන රහසක් නෑ.



ඔබේ ඔය පෙනුම එක්ක අපේ රටේ ඇතැම් තරුණයන්ගේ ක්‍රෂ් එක ඔබ?


ඇත්තටම සතුටුයි. ඒ තරම් රසික ආදරයක් ලැබෙනවා කියන්නේ කලාකාරිනියක් විදිහට සතුටට කාරණයක්.


ඒත් එක්ක විවාහවෙන්න කලින් ගොඩාක් ආදර යෝජනා එන්න ඇති නේද?


ඒක නම් ඉතින් හැම ගෑනු ළමයකුටම වගේ පොදු දෙයක්නේ.


දැන් ඔබ විවාහකයි. පවුල් ජීවිතේ එහෙම කොහොමද?


අපි දෙන්නා ආදරේ කරපු කාලේ වගේ ආදරෙන් සතුටින් ඉන්නවා. ඒකනේ වෙන්නත් ඕනේ.


ඔබ හරි සංවර විදිහට අඳින පළඳින බවයි පේන්නේ. විලාසිතා කරන්නේ සීමාවකටද?


මම සාමාන්‍යයෙන් මගේ පෙනුමට ගැළපෙනම විලාසිතා විතරයි කරන්නේ. හිතුණු හිතුණු හැම විලාසිතාවම කරන්නේ නෑ. තැනකට ගියත් මං එතැනට උචිත ඇඳුමක් අඳින්නේ. කිසිම දවසක නොගැළපෙන විලාසිතා කරන්නේ නෑ.



දිල්කි ගායිකාවක් වුණාට නිළියක් වෙන්න සුදුසුකම් එහෙමත් තියෙනවා?


ඇත්තටම රඟපාන්න ආරාධනා ඇවිදින් තියෙනවා. ඒත් ඒකට කැමැත්තක් නෑ.


දැන් අලුත් ගීතයක් එළිදක්වන්නත් කාලේ හරි නේද?


ඔව් කාලේ හරි. ඉක්මනින් අලුත් ගීතයක් අහන්න, දකින්න පුළුවන් වෙයි.


අවසානෙට කියන්න, ගායන ශීල්පිනියක් විදිහට ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?


එකම බලා පොරොත්තුව වෙන්නේ මට පුළුවන් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳිලා, ගායනය තුළින් සංගීත ක්ෂේත්‍රයට මගේ උපරිමය දෙන එක තමයි. ඒ වගේම හැමදාමත් මිනිස්සුන්ගේ හදවතේ ගායිකාවක් විදිහට රැඳිලා ඉන්නත් ම‍‍ං කැමැතියි. 


 

More News..