brand logo
logo
ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

05 October 2026


බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (05) අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) පස්වරුවේ නියෝග කළේය.


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධා වන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.


එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් 2018 වසරේ මැයි 24 වැනිදා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවම් නියම කළේ එම සිරදඬුවම වසර 06කින් ගෙවී යන ආකාරයෙනි.


කෙසේවෙතත්, 2019 වසරේ මැයි 23 වනදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනපති පොදු සමාව ප්‍රදානය කළේය.


ඊට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේ විභාගයට ගැනීමෙන් පසු ඊට අදාළ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණි.


ඒ, ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට නියෝග කරමිනි.


කෙසේවෙතත් පොදු සමාව බලරහිත වුවත් අධිකරණය හමුවේ පෙනී නොසිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබූ අතර එම මෝසම ඉකුත් 29 වැනිදා කැඳවනු ලැබීය.


නොතීසි නිකුත් වී සිටි විත්තිකාර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදිනත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුව විත්තිකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේය.


උන්වහන්සේගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඔක්තෝබර් පළමුවැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කෙරුණි.


අදාළ වරෙන්තුව ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (03) රාත්‍රියේදී ය.


ඒ, උන්වහන්සේ කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියදී ය.

 

More News..