"පපුව රිදෙනවා හොස්පිටල් ගෙනියන්න" චාමරගෙන් රඟපෑමක්
12 May 2026 | නයෝමි කරුණාසිංහ / ටී.කේ.ජී කපිල - ගුවන්තොටුපල
"පපුව රිදෙනවා හොස්පිටල් ගෙනියන්න" චාමරගෙන් රඟපෑමක්
12 May 2026 | නයෝමි කරුණාසිංහ / ටී.කේ.ජී කපිල - ගුවන්තොටුපල
මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ලක්ම පාහේ සිදුවන්නේ විදෙස් රටවල සිටය. ඒ මෙරට සිටිමින් නිතියෙන් මිදී ඒවා කරගත නොහැකි අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදෙස් රටවල සැඟව සිටීම නිසාය. බොහෝ අපරාධකරුවන් පිරිසක් සැඟව සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඉස්ලාමීය රාජ්‍යක් වුවත් ව්‍යාපාරික හා සංචාරක ක්ෂේත්‍රය ගැන වැඩි ඉඩකඩක් වෙන් කිරීම මත ඉස්ලාමිය සෙසු රටවල්වලට සාපේක්ෂව ඩුබායි රාජ්‍යයේ යම් ලිහිල් නිති රාමුවක් ක්‍රියාත්මක වීම ඊට එක් හේතුවක් වී තිබිණි. මේ වනවිට ඩුබායි රාජ්‍යයද දරදඬු නීතිමය ක්‍රියාදාමයක් ආරම්භ කර ඇත. විශේෂයෙන් වෙනත් රටවල්වලින් පැමිණ සැඟව සිටින අපරාධකරුවන් හසුකරගෙන ඒ ඒ රටවල් වෙත යැවීමට එරට ආරක්ෂක අංශ මේ වනවිට පියවර ගෙන තිබේ. වසර ගණනාවක් ඩුබායි හි සැඟව සිට අසර්බයිිජාන් රාජ්‍යට වැඩි ආරක්ෂාවක් පතා පලාගිය මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර නැමති දරුණු අපරාධකරු නීතියේ රැහැනට කොටුවන්නේ එවැනි පසුබිමක් තුළය.
සිය අසර්බයිජාන් පෙම්වතිය සමගින් අසර්බයිජානයේ සුඛෝපභෝගි ජීවිතයක් ගතකරමින් සිටි ඔහු මීට මාසයකට පෙර එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට තුළ රැදී සිටිම මතය. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඔහුගේ නමින් ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නික්ත් කර නොමැත. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලද තොරතුරට අනුව එම දෙපාර්තමේන්තුව අසර්බයිජාන් ආරක්ෂක අංශ වෙත මෙම අපරාධකරු සම්බන්ධයෙන් වාර්තාවක් යොමුකරමින් සැකකරු මෙරට අපරාධ රැසකටම සම්බන්ධ අයකු බවට දැනුම් දී ඇත. එසේම එම අපරාධකරු මෙරටට එවන ලෙසට ඉල්ලීමක්ද සිදුකර ඇත.
මේ අනුව මෙම අපරාධකරු මෙරටට භාරදීමට අසර්බයිජානය එකඟ වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු, පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු පසුගිය 08 වැනිදා මෙරටින් අසර්බයිජානය බලා පිටව ගොස් ඇත්තේද ඒ අනුවය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් බටුවත්තේ චාමර නැමැත්තා පෙරේදා (10 වැනිදා) ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ ශ්‍රීලංකාව බලා රැගෙන එනු ලැබීය. එලෙස රැගෙන ආ මෙම අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා භාර දි තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයටය.
බටුවත්තේ චාමර නැමැත්තා අසර්බයිජාන් ගුවන් තොටුපල වෙත ගෙන ඒමෙන් පසුව ගුවන් යානය තුළට මුලින්ම ඇතුළත් කරගෙන ඇත්තේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා ඔහුවය. ගුවන් යානයේ පිටුපස ආසනයේ මෙම පිරිසට ඉඩකඩ දී ඇති අතර මෙහිදී ගුවන් යානය තුළ බටුවත්තේ චාමර නැමැත්තා කලබලකාරී අන්දමින් හැසිර ඇත.
මට පපුව රිදෙනවා. මේ හදන්නේ මාව බෙහෙතක් වත් නොදෙන තැනකට එක්ක ගිහිං මාව මරන්න. මාව හොස්පිටල් අරන් යන්න යනුවෙන් ගුවන් යානය තුළ කළහකාරී ලෙස හැසිර ඇතිමුත් බටුවත්තේ චාමර කරන්නේ රඟපෑමක් බව දත් නිලධාරීන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයටද ඒ බව පවසා ඇත. එම කාර්ය මණ්ඩලයද එය තේරුම්ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පසුගිය 2025 වසරේ පෙබරවාරි 19 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලා අංක 05 හි මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටදීම විත්තිකූඩුවේ සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වූ සංජිව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හා එම වසරේම මැයි 17 වැනිදා නාරාහේන්පිට දාඹරේ මාවතේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට වෙඩි තබා ලිපි ගොනුවක් පැහැරගැනීමේ සිද්ධියට අදාළව කරනු ලබන විමර්ශනවලට අනුව බටුවත්තේ චාමර නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට භාරදී තිබිණි.
මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර ඉපදී ඇත්තේ රාගම බටුවත්ත ප්‍රදේශයේය. ඔහු මුල් කාලයේ රූපලාවන්‍ය ශිල්පියකු වීමට සිහින දුටුවද 2003 වසරේදී ඔහුගේ නම අපරාධ ලෝකයේ මුලින්ම ලියවී ඇත. ඒ ගිනි අවියක් සමග පොලිසියට හසුවීම මතය. මේ චෝදනාවට බන්ධනාගාර ගතවන බටුවත්තේ චාමරට බන්ධනාගාරයේදී කිඹුලාඇලේ ගුණා, පොට්ට නවුෆර්, මාලිගාවත්තේ ඉම්ටියාස් යන දරුණු ගණයේ අපරාධකරුවන් හමුවන අතර ඔවුන් සමගින් මනා සම්බන්ධයක්ද එම කාලයේ ගොඩනැගී ඇත. මේ අනුව අපරාධකරුවකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන බටුවත්තේ චාමර 2005 වසරේ ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කණ්ඩායමක් හා එක්ව තිබේ. එම කාලයේ කොළඹ ප්‍රධාන පෙලේ පාතාල නායකයකු වූ ජූඩ් ප්‍රියන්ත නැමැත්තා හා එක්ව කටයුතු කර ඇති බටුවත්තේ චාමර ඇතුළු පිරිසක් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායමක ප්‍රචාරක කණ්ඩායමකට කොටහේන ප්‍රදේශයේදී පහරදීම මත යළිත් අත්අඩංගුවට පත්ව ඇත.
ඉන් අනතුරුව පාතාල ලෝකයේ ක්‍රියාකාරිකයකු වන ඔහු මත්ද්‍රව්‍ය හා ගිනි අවි ජාවාරම්වලට පා තබා ඇති අතර මෙම කාලයේදී ගණේමුල්ලේ සංජිව සමගින්ද සමිප සම්බන්ධයක් පවත්වා ඇත. පිටරටින් මත්ද්‍රව්‍ය හා ආයුධ ගෙන්වීමේදී ගණේමුල්ලේ සංජීවගේ නම ඉදිරියට දමමින් තිරය පිටුපස සිට බටුවත්තේ චාමර නැමැත්තා මෙම ජාවාරම් සිදුකර තිබෙන බවටද විමර්ශන රැසකින්ම අනාවරණය වී ඇත.
දරුණු ගණයේ අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජිව මෙරටින් පිටරටකට ගැනීමේ කර්යද මෙහෙයවා ඇත්තේ බටුවත්තේ චාමර නැමැත්තා බවත් ඒ සඳහා සහාය වී ඇත්තේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා අපරාධකරුවකු වන ප්‍රංශ රූබන් බවත් තොරතුරු අනාවරණය වී ඇත.
පසුකාලයේදි ගණේමුල්ලේ සංජීව සමගින් මොහු විරසක වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ මුදල් සහ අවි ආයුධ සම්බන්ධයෙන් වූ ආරවුලක් බවටද විමර්ශන අංශ හෙළිකරගෙන ඇත. ගණේමුල්ලේ සංජීවගේ ප්‍රතිවාදී පාර්ශ්වය වන කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු කණ්ඩායම හා එක්ව ගණේමුල්ලේ සංජීව ඝාතනයට අදාළ සැලසුම සකස් කළ අයකු ලෙසද ඔහුව හඳුනාගනෙ ඇත.
ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පසු එනම් පසුගිය වසරේ මැයි මාසයේදි ආමි සම්පත් නැමති මැර සාමාජිකයකුට නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කිරීමද බටුවත්තේ චාමර විසින් සිදුකර තිබෙන බවද අනාවරණය වී ඇත.
ගණේමුල්ලේ සංජීව ඝාතනය කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ද ඇතුළු පාතාල සාමාජිකයන් විසින් සැලසුම් කළ අතර ඒ සඳහා තෝරාගත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ගිනි අවිය සපයා ඇත්තේ බටුවත්තේ චාමර බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් බටුවත්තේ චාමර නැමැත්තාගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් ඒ සඳහා පැය 72 ක රැඳවුම් නියෝගයක් ලැබී ඇති බවත් විමර්ශන අංශ සඳහන් කරති.
තුසිත හල්ඔළුවගේ රථයට වෙඩි තැබිමේ සිද්ධිය හල්ඔළුවගේම අවශ්‍යතාව මත සිදුකළ නාටකයක් බවට හඳුනාගෙන තිබුණද එම නාටකය සඳහා වෙඩික්කරුවන් යොදවා වෙඩි තැබීම සිදුකරවා ඇත්තේද බටුවත්තේ චාමර නැමැත්තා විසිනි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රසල් ස්මිත්, වැල්ලේ සාරංග, ප්‍රංශ රූබන්,කුඩු ලාල් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමගින් පමණක් නොව බටුවත්තේ චාමර නැමැත්තා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවකු වන දාවුද් ඉබ්‍රාහිම් නැමැත්තාගේ පාර්ශ්වය හා මැලේසියාවේ කුඩු ජාවාරමේ මාෆියාකරුවකු සමගින්ද එක්ව මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම් හා ජාවාරම් කරලීම් සිදුකරන බවද පොලිසිය පවසයි.
රාගම බටුවත්ත, ජාඇල සිට පෑලියගොඩ දක්වාම බටුවත්තේ චාමර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්තවී ඇති අතර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනියක වූ සුනීතා නැමති කාන්තාව හා ඇයගේ සහායකයාට වෙඩි තබා ඝාතනය කරලීම, ජාඇල උස්වැටකෙයියාව වෙරළ තීරයේදී තරුණයකු දණ ගස්වා වෙඩි තබා ඝාතනය කරලිම, කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් තුළ දෙමටගොඩ රුවන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා දැරීම වැනි අපරාධ රැසක්ම බටුවත්තේ චාමර විසින් මෙහෙයවා ඇති බවද වාර්තා වේ.

