brand logo
logo
මෙරට කෘෂිකර්මාන්තය නැංවීමට චීනයෙන් සුහුරු තාක්ෂණික සහය

මෙරට කෘෂිකර්මාන්තය නැංවීමට චීනයෙන් සුහුරු තාක්ෂණික සහය

14 September 2026


මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උසස් තාක්ෂණික සහය ලබාදෙන බව මෙරට චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (14) හමුවූ අවස්ථාවේදීය.


එහිදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූයේ හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය කෙරෙහිය.


චීනය මේ වන විට ජංගම යෙදවුම් හරහා වගාවට උචිත පස, ආර්ද්‍රතාවය ඇතුළු සියලු පරිසර තත්ත්වයන් මැනගනිමින් කෘෂිකාර්මික කටයුතු හැසිරවීමේ තාක්ෂණය දියුණු කර ඇති අතර, එම තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළ කළේය.


එමෙන්ම, මුහුදු ජලයේ පවා වගා කළ හැකි දියුණු දෙමුහුන් වී ප්‍රභේද මෙන්ම වියළි හා තෙත් කාලගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඉඩම් සකස් කිරීමේ තාක්ෂණය ද චීනය සතුව පවතින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.


සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් සමගාමී සංවර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් දැක්වේ.


දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.


මේ අතර මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ වත්මන් කෘෂිකාර්මික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කියාසිටියේ, මෙරට සහලින් ස්වයංපෝෂිත රටක් බවය.


එමෙන්ම බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශීයව නිෂ්පාදනය කරන බව ඔහු පැවසීය.


මෙරටට අවශ්‍ය බොහොමයක් ගොවිපල යන්ත්‍රෝපකරණ ආනයනය කරන්නේ චීනයෙන් බවත්, ශ්‍රී ලාංකික ගොවීන් වෙනුවෙන් චීන රජය ලබාදෙන තාක්ෂණික පුහුණු වැඩසටහන් පිළිබඳව කෘතඥතාව පළ කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


විශාල පරිමාණයේ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා චීන සමාගම් දැනටමත් දායකත්වය ලබාදී ඇති අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා ද තාක්ෂණික සහයෝගය බලාපොරොත්තු වන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..