Best News Website award
brand logo
logo
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි - අගමැතිනිය

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි - අගමැතිනිය

25 November 2026


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා හුදෙක් නීත්‍යානුකූල අයිතිවාසිකම් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා සමාජ ආකල්ප වෙනස් කර නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සහ ඊට සමගාමීව ඇරඹි දින 16ක ක්‍රියාකාරී වැඩසටහන නිමිත්තෙන් අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, ලෝකයේ කාන්තාවන් තිදෙනෙකුගෙන් අයෙකු (ආසන්න වශයෙන් මිලියන 840ක්) සිය ජීවිත කාලය තුළ කායික හෝ ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.


එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මෙරට කාන්තාවන්ගෙන් 20.4%ක් හෙවත් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සමීප සහකරුවෙකු අතින් හිංසනයට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම ආබාධ සහිත කාන්තාවන් අතර මෙම ප්‍රතිශතය 25.5%ක් වැනි ඉහළ මට්ටමක පවතින බව ද ඇය හෙළි කළාය.


මහමඟදී සහ රැකියා ස්ථානවලදී මෙන්ම වර්තමානයේ සයිබර් අවකාශය හරහා එල්ල වන තර්ජන, බ්ලැක්මේල් කිරීම් සහ අනුමැතියකින් තොරව පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ ප්‍රචාරය කිරීම ද භෞතික ප්‍රචණ්ඩත්වයේම දිගුවක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඒ සම්බන්ධයෙන් ඩිජිටල් වේදිකා මෙහෙයවන ආයතන ද සෘජුවම වගකිව යුතු බව ඇය අවධාරණය කළාය.


ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වගකීම වින්දිතයන් මත නොපටවා, හිංසනය සිදු කරන්නන් සහ ඊට අනුබල දෙන්නන් එහි වගකීම භාරගත යුතු බව පැවසූ ඇය, පුරුෂ මූලික ආකල්ප වෙනස් කිරීම උදෙසා පිරිමින් සහ පිරිමි දරුවන් සමඟ ද සංවාදයක් ගොඩනැගිය යුතු බව කියා සිටියාය.


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන බැවින්, නීති නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමටත්, දින 16ක වැඩසටහනකට පමණක් සීමා නොවී දිනපතාම කැපවීමෙන් කටයුතු කිරීමටත් රජය බැඳී සිටින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

 

More News..