හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා අත්අඩංගුවට
23 August 2026
හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා අත්අඩංගුවට
23 August 2026
කෝරලඉම කිරිවත්තුඩුව ප්‍රදේශයේදී ඉකුත් 8වැනිදා පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කැස්බෑව කිඳෙල්පිටිය මහ පාලම අසල ළඳු කැලෑවක සැඟවසිටියදීය.
කෝරලඉම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අමරතුංග ආරච්චිගේ සිරිපාල නමැති 78 හැවිරිදි පුද්ගලයා යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තා වුණේ ඉකුත් 8වැනිදාය.
කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු ඝාතනයට ලක්වුණු පුද්ගලයාගේ 17හැවිරිදි මුණුබුරකු සමග කලකපටන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව සිට ඇතැයි අනාවරණවී තිබේ.
එම තරුණයා එදින මත්ද්‍රව්‍ය භාවිතයට නොපැමිණීම පිළිබඳව කුපිතවූ සැකකරු ඔහුගේ නිවසට ගොස් තරුණයාට යකඩ බටයකින් පහරදී ඇති අතර තරුණයා බේරාගැනීමට පැමිණි ඔහුගේ සීයාටද සැකකරු එම යකඩ පොල්ලෙන්ම පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව එම ස්ථානයෙන් පළාගිය සැකකරු පාගමනින් හොරණ හරහා රත්නපුරයට ගොස් පසුදින පස්වරුවේ පැල්මඩුල්ලට පැමිණ ඇති අතර පසුව බස් රථයක නැගී ඇඹිලිපිටියට ගොස් සමීපතමයෙකුගේ නිවසේ රැඳීසිට ඇතැයි විමර්ශනවලදී අනාවරණවී තිබේ.
පසුව ඉකුත් 21වැනිදා අලුයම 1.10ට පමණ බස් රථයකින් කොළඹටත්, එහි සිට බොරලැස්ගමුවටත් පැමිණ ඇති සැකකරු පලායාමේ අරමුණින් කැස්බෑව කිඳෙල්පිටිය මහ පාලම අසල ළඳු කැලෑවක සැඟව සිට ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් කහතුඩුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක්මත සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණි.
මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩිලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන සැකකරු ප්‍රදේශයේ ගංජා අලෙවි කිරීමේද නිරතව ඇති බව වාර්තා වේ.
සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ගල්කිස්ස කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී බී. එම් .එල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

