brand logo
logo
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

12 April 2026

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි පතිතවී තිබේ.


අද (12) පස්වරු 3.00 සිට 4.00 දක්වා පැයකට ආසන්න කාලයක් වර්ෂාපතනය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 


ඒ අනුව මාස තුනකට ආසන්න කාලයක් පැවති අධික වියලි කාලගුණ තත්ත්වය අවසන් කරමින් කාසල්රි, මාවුස්සාකැලේ, ඉහළ කොත්මලේ යන ජල පෝෂක ප්‍රදේශවලට මෙලෙස වැසි පතිතවී ඇත.


වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බැස තිබූ අතර එම ජල පෝෂක ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිදි යෑමෙන් ප්‍රදේශය පුරා පානීය ජල ගැටළුවක්ද පැවතුණි.


මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 


එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය නිකුත් කරමින්ය.


හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති වන බව අදාළ නිවේදනයේ සඳහන්ය. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය


 

More News..