brand logo
logo
කොච්චිකඩේ සිට ලොරි බාගේ නැගී මඩු වන්දනාවේ ගිය කාලේ...

කොච්චිකඩේ සිට ලොරි බාගේ නැගී මඩු වන්දනාවේ ගිය කාලේ...

11 August 2025 | නිලන්ත මදුරාවල



මීට වසර හතළිස් හතරකට පමණ පෙර එක්තරා සුවිශේෂී දින කිහිපයක් තවමත් මසිතට නැගේ. වැඩිහිටියෝ නිදි වරමින් මහා ගමනක් යාමට සැරසෙති. නිවෙස් කිහිපයකින් එක් තැනකට ගෙනෙන හැළි වළන්, හට්ටි මුට්ටි, පැදුරු, ටෙන්ට්, වතුර බූලි ඇතුළු දින ගණනක ඉඳුම් හිටුම් සඳහා අවශ්‍ය කළමනාදිය ලොරියකට පැටවෙයි. සැලකිය යුතු පිරිසකට වාඩි වී යාමට ඉඩ තබාගැනීම සඳහා එම කළමනා සියල්ලම සීරුමාරුවට ගැට ගැසෙන්නේ ලොරියේ වහලය මත ය. පසුදින අලුයම ගමනාරම්භයට පහසුවීම සඳහා සියලු දෙනා පෙර දින රැයේ සිටම සූදානම් වෙති. ලොරියේ දෙපස සහ මැදින් බංකු දමා වැඩි පිරිසකට වාඩි ගැනීමට හැකි වන පරිදි සකස් කෙරෙයි.


අලුයම අවදිවන සියල්ලෝ හනිහනිකට ලකලෑස්ති වෙති. ළමා ළපටියන්ට නම් අමුතුම අත්දැකීමකි. මහා ගමනකට සියල්ල සූදානම් ය. ආච්චිලාගේ සීයලාගේ සිට ළමා ළපටියන් දක්වා සියල්ලෝම ගමනට පෙර සැලකිය යුතු වෙලාවක් යාච්ඤා කරති. ගමනැරඹෙන්නේ ඉන් පසුව ය. වටින් ගොඩින් එළිය වැටීමටත් හෝරා කිහිපයකටත් පෙරම මේ ගමනාරම්භය වූයේ මීගමුව, කොච්චිකඩෙනි. වැඩිහිටි පිරිමින් ලොරියේ පිටුපස දොරේ පන් පැදුරු එළා වාඩිගෙන ය. ළපටියන්ට කතා කිරීමට හෝ ඉඩ නොදෙන වයෝවෘද්ධ කාන්තාවෝ කොන්තය අතින්ගෙන යාච්ඤා ආරම්භ කරති. ඉන් පසු සියල්ලෝ ඒ වෙනුවෙන් දායක වෙති. යාච්ඤාව අවසානයේ ගීතිකාවකි. අත්පොළසන් ගසමින් සින්දුවකට ඉඩ ලැබෙන්නේ කලතුරකිනි. යළිත් දේවමාතා ප්‍රාර්ථනය ආරම්භ වන්නේ ය. දේවස්ථානය ළංවන්නට වන්නට යාච්ඤා ස්වරය ද වැඩි වන්නේ ය. එතරම්ම භක්ත්‍යාභ්‍යාසන්හි යෙදෙමින් මේ යන්නේ මඩු වන්දනාවේ ය.


කොච්චිකඩේ සිට මඩු ශුද්ධ වූ භූමියට ලොරියෙන් ගමන් කිරීමට ගත වූ කාලය හෝ මාර්ගය හෝ පිළිබඳ මතකයක් නැත. අප එහි යන විටත් මහා පිරිසක් ඒ බිමේ විසිරී කූඩාරම් බැඳ සිටියහ. දැවැන්ත පලු වීර ගස්වලින් ගහන එම පරිසරය සිතට අමුතු මිහිරියාවක් එක් කරයි. ලොරිය පැමිණෙනවාත් සමගම ඒ අසලට පැමිණෙන පිරිස් කූඩාරම සැකසීමට අවශ්‍ය මාංගු ලී මුදලට සපයන්නාහ. රැගෙන ආ විශාල ටෙන්ට් රෙද්ද පලු හෝ වීර ගස් එක් කරමින් වැඩිහිටි පිරිමින් අතින් බැඳෙන විට කාන්තාවෝ සාරිවලින් කූඩාරම ආවරණය කරන්නෝ ය. අප කූඩාරම් බැඳ සිටි ස්ථානයේ සිට දේවස්ථානයට පයින් යා හැකි එහෙත් සැලකිය යුතු දුරක් තිබිණි. කලින් පැමිණෙන වන්දනාකරුවෝ දේවස්ථානය පෙනෙන දුරින්ම කඳවුරු බඳිති. දේවස්ථානය අසලම මනාව ඉදි කෙරුණු ලැගුම්හල් කිහිපයක් ද තිබුණා මතක ය. වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ජලය මඩු බිමේ තැනින් තැන සවිකර තිබූ ජල කරාමයන්ගෙන් ගැනිණි. ඇතැම් ස්ථානවල අත්පොම්ප සවිකර තිබිණි. උදෙන්ම අවදි වී කළ, බූලි, මුට්ටි රැගෙන ජල කරාම අසල පෝලිමේ සිටින වැඩිහිටියන් ඒ දිනවල සුලබ දසුනකි. ඒ අතර වැඩි වශයෙන් සිටින්නේ කාන්තාවෝ ය. වන්දනාකරුවන්ට ස්නානය සඳහා පොදු ළිං රැසක් තිබිණි. වැසිකිළි පහසුකම් ද පැවැති නමුත් බොහෝ පිරිස් අවට මහා ඝන වනයට ද වදිති. දිවයිනේ නන් දෙසින් පැමිණි වන්දනාකරුවෝ උයන පිහන දෑ පවා බෙදා හදා ගනිමින් රැය පුරා අල්ලාප සල්ලාපයේ යෙදී සිටිති. උදේ සවස රාත්‍රියේ දේව මෙහෙයයන් පැවැත්වෙයි. සියල්ලෝම පාහේ දිනකට අනිවාර්යයෙන්ම දේව මෙහෙයකට සහභාගි වෙති. ළමාළපටියන්ට එය අනිවාර්ය ය. දහවල් කාලයේ ඇති තරම් කෙළිදෙළෙන් සිටිය හැකි මුත් රාත්‍රි කාලයේ දී ළමයින්ට කූඩාරමෙන් පිටතට යාම තහනම් ය. සෑම කූඩාරමක් අභ්‍යන්තරයේ වූ පැට්‍රොල් මැක්ස් ලාම්පුවෙන් විහිදුණු එළිය දුර සිට බලන්නකුට අමුතුම චිත්‍රයක් මැවී ය. රාත්‍රිය පුරා නැගුණු ඒ රැහැයි නාදය තවමත් නින්නාද නගන සෙයකි.


දේවස්ථානයට නුදුරින් නෙක විසිතුරු දෑ අලෙවි කරන කඩ පේළිය. තාවකාලිකව ඉදි කෙරෙන අලෙවි කුටි රැසකි. ඒ අතර කොන්ත, සුදු යකඩින් නිම කළ මාල, කරේ එල්ලා ගත හැකි කුරුස, බොරලික්කම්, නිවෙස්වල බිත්තියේ එල්ලා ගත හැකි ආකාරයට රාමුකර සකස් කරන ලද ආගමික ඡායාරූප, ආගමික පොත්පත් අයත් අලෙවිසල් විශාල ප්‍රමාණයකි. කොට්ටකිලංගු නැතහොත් තල් අල, තල් හකුරු ඇතුළු රසකැවිලිවලින් ද අඩුවක් නොවීය. සෑම විටක දීම වෙළෙඳසල් වන්දනාකරුවන්ගෙන් පිරි පැවැති අයුරු තවමත් මතකයට නැගේ.


මඩු මාතාවන්ගේ මංගල්‍යය දින ප්‍රධාන දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථාන බිම අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරෙයි. ශබ්ද විකාශන යන්ත්‍ර නිසා සියලු දෙනාට දේව මෙහෙය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබිණි. එදා ඒ මංගල්‍යය දිව්‍ය පූජාවට මා එක් වූයේ දේවස්ථානයට ඉදිරියෙන් ම ඉදි කර තිබූ තරමක් විශාල කුරුසය අසල හිඳිමිනි. දේව මෙහෙයෙන් පසුව මඩු මාතාවගේ ප්‍රතිමාව සිපාචාර කිරීම සඳහා පොදි කකා කොනක් නොපෙනෙන පෝලිමේ සිටි අයුරු අදටත් සේයාවක් සේ සිතේ ඇඳී පවතී. මංගල මහා දේව මෙහෙයෙන් පසු වන්දනාකරුවෝ සිය ගම්බිම් බලා යාම ආරම්භ කරති. දින ගණනක් පුරාවට ඒ ශුද්ධ භූමියේ ලැගුම්ලා සිටි වැඩිහිටියෝ ඉන් ඉවත් වන්නේ කඳුළින් බර වූ දෙනෙතිනි. ඒ දරා ගත නොහැකි අව්‍යාජ බැතිය නිසා ය.


වන සතුන්ගෙන් විෂඝෝර සර්පයන්ගෙන් මිනිසුන් ආරක්ෂා කරන හාස්කමක් මඩු ප්‍රතිමාව සතු බවට ජනතාව අතර මතයක් ප්‍රචලිත වී තිබිණි. දේවස්ථාන භූමියේ මෙවැනි ආරක්ෂාවක් පවතින බවට වූ මතය නිසා ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට මඩු දේවස්ථාන බිමේ පස් ද රැගෙන යාමට පටන් ගෙන තිබේ.


මඩු ඉතිහාසයේ වැදගත් ම දිනය වී ඇත්තේ 1924 වසරේ ජූලි මස දෙවැනි දා බව කියැවේ. එදින ඇල්ෆ්‍රඩ් ගියෝමාර් රදගුරුතුමන් මහා දේව මෙහෙයයක් පවත්වා මඩු දේවස්ථානය ජපමාල දේවමාතාවන්ට කැප කිරීමේ උළෙල ආරම්භ කර තිබේ. එවකට අගරදගුරු වූ ඇන්තනී කුදරේරා හිමිපාණන් විසින් විශාල ජනකායක් ඉදිරිපිටදී මරදමඩු ප්‍රතිමාවට ඔටුනු පලඳවා මඩු මාතාවන් සියලු කතෝලිකයන්ගේ රැජින ලෙස සංකේතවත් කර ඇත.


අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන මංගල්‍යය ආරම්භ වී ඇත්තේ කලකට පසුව ය. එය වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ එසමය පාසල් දරුදැරියන්ගේ නිවාඩු සමය ද හෙයිනි. නිවාඩු සමයේ මංගල්‍යය පවත්වන ලෙස ප්‍රබල ඉල්ලීමක් කළෝ එවකට යාපනයේ සාන්ත පැට්‍රික් මහා විදුහලේ අධ්‍යක්ෂ චාර්ල්ස් සෝබ්‍රි මැතිව්ස් පියතුමෝ බව සඳහන් ය. ඒ අනුව 1932 දී පවත්වන ලද මංගල්‍යයට එවකට කොළඹ සාන්ත ජෝශප් මහා විදුහලේ ගුරු මඬුල්ලේ සේවය කළ ටී.බී. කුරේ පියතුමන් ද (තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්) සහභාගි වූ බව වාර්තා වන්නේය.


වසර ගණනක් එල්ටීටීඊ ග්‍රහණයට නතුව පැවැති මෙම පුදබිම මුදා ගැනෙන්නේ 2008 වසරේ අප්‍රේල් මස 25 වැනිදා ය. එලෙස මුදා ගැනීමෙන් පසුව මඩු මවුන්ගේ ප්‍රතිමාව ආරක්ෂාව සඳහා යැයි කියමින් තැන්පත් කෙරෙන්නේ මුදා නොගත් ප්‍රදේශයක්ව පැවැති මන්නාරම දිස්ත්‍රික්කයේ තෙවන්පිඩ්ඩිහි දේවස්ථානයක ය. එම ප්‍රදේශයේ ජනතාව යුදමය වාතාවරණයෙන් ආරක්ෂාවීම සඳහා රැස්ව සිට ඇත්තේ මෙම තෙවන්පිඩ්ඩි ගම්මානයේ වන අතර එම ගම්මානයට ප්‍රතිමාව රැගෙන යාමට පියවර ගෙන ඇත්තේ එවකට මන්නාරම රදගුරු රායප්පු ජෝශප් ය. මඩු මවුන්ගේ ප්‍රතිමාව දේවස්ථානයෙන් ඉවත් කරන විට ආරක්ෂක හමුදා ඒ ආසන්නයට ම පැමිණ තිබිණි. එසේ තිබියදීත් කිලෝ මීටර් පනහක් පමණ එපිට මුදා නොගත් ප්‍රදේශයකට ප්‍රතිමාව රැගෙන යාමට රදගුරුවරයා ගත් පියවර කතෝලිකයන් අතර දැඩි කුකුසක් ඇති කිරීමට හේතු විය. රජය සේම එල්ටීටීඊය ද මඩු දේවස්ථානයේ ආරක්ෂාව සහතික කරන පළමු මොහොතේ ම ප්‍රතිමාව යළිත් මඩු ශුද්ධ බිමට ගෙනෙන බව එම වසරේ මැයි මස 23 වැනිදා රදගුරුවරයා සහතික වශයෙන් ම පැවසීම කතෝලික ප්‍රජාවගේ කුකුස සමනය කිරීමට ප්‍රමාණවත් විය.


සිත නිවා සනහාලන මිහිරියාවකින් යුක්ත ඒ ඓතිහාසික මඩු පුද බිම අද වසරේ සෑම දිනක ම පාහේ බැතිමතුන්ගෙන් පිරී පවතින්නේ ය.

 

More News..