brand logo
logo
දුම්රිය එන්ජින් 98න් ධාවනය කළ හැක්කේ 50ක් පමණයි

දුම්රිය එන්ජින් 98න් ධාවනය කළ හැක්කේ 50ක් පමණයි

14 September 2026


දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට පවතින ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් ප්‍රමාණය 50ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ.


අදාළ වාර්තාව මගින් හෙළිව ඇත්තේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය සංචිතය තුළ දුම්රිය එන්ජින් 98ක ප්‍රමාණයක් පැවතියද මේ වන විට ධාවන කටයුතු සිදු කරනු ලබන්නේ 50ක් පමණක් වන බවය.


එමෙන්ම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය දුම්රිය එන්ජින් 74ක් වන බවත් එහි සඳහන් වේ.


මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක සංඛ්‍යාවක් 2024 වසරේ පැවැති බවත් සදහන් වේ.


අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල මේ වන විට පවතින්නේ 118ක ප්‍රමාණයක් බවය.


සංචිතය තුළ බලවේග කට්ටල 242ක් තිබෙන අතර සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය 193ක් වේ.


කෙසේ වෙතත් 2024 වසරේදී බලවේග කට්ටල 258ක ප්‍රමාණයක් සංචිතයේ තිබී ඇති අතර එම කාලයේදී ධාවනයට එක්කර තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 148ක් වේ.


මේ අතර දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරනුයේ මෙලෙස දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින අඩුව හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවත් ඇතැම් දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවය.


දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති ගණනාවක් දිගින් දිගටම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුවත් කළ ද ඔහු ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර නොදක්වන බවද වෘත්තිය සමිති සදහන් කළේය.


ඒ අනුව දිගින් දිගටම වාර්තා වන මෙම ගැටලුකාරී තත්ත්වයන් සහ ඊට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නිහඬ ප්‍රතිපත්තිය හේතුවෙන් එළඹෙන 17 වනදා දුම්රිය වෘත්තීය සමිති 27ක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටද සැළසුම් කර තිබේ.


මේ අතර දුම්රිය වෘත්තීය සමිති එළඹෙන 17 වනදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය සදහා තම සංගමය ද සහය දක්වන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසයි.


එම එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා පැවසුවේ තම සාමාජිකයින් මුහුණදී ඇති ගැටලු සඳහා විසදුම් ඉල්ලීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද මේ වන තෙක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම අවස්ථාව ලබා දී නොමැති බවය.


ඒ අනුව එළඹෙන 17 වනදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට තමන් ද එක්වන බවයි ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා පැවසීය.


මේ අතර මෙම වැඩ වර්ජනය සඳහා එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.


ඒ අනුව අද පස්වරු.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. 

 

More News..