brand logo
logo
පෙම්වතියගේ නිරුවත  අන්තර්ජාලයට මුදාහැරී පෙම්වතා අත්අඩංගුවට

පෙම්වතියගේ නිරුවත අන්තර්ජාලයට මුදාහැරී පෙම්වතා අත්අඩංගුවට

19 June 2025 | බණ්ඩාරගම- බිමල් ජයසිංහ

තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදාහැරි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව් වසරක පෙම් සම්බන්ධතාවක් පැවත්වූ තම පෙම්වතිය තමා විවාහක එක්දරු පියකු බව දැනගත් බවත් මේ හේතුවෙන් ඇය තමා හැර ගිය බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කුඩාමාදුව පාර සිසිල් සෙවණ උද්‍යානයේ පදිංචි 22 හැවිරිදි එක්දරු පියකි.


සැකකරුගේ ජංගම දුරකතනයේ හා ලැප්ටොප් පරිගණකයේ තිබී පැමිණිලිකාර තරුණියගේ මෙන්ම තවත් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය දර්ශන රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.


දකුණු පළාතේ ප්‍රදේශයක පදිංචි 26 හැවිරිදි පැමිණිලිකාරිය 2022 වසරේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා ඇතුළත් වී ඇති අතර එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර සැකකරුද හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇත.


මෙම සබඳතාව දෙපාර්ශ්වයේම දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර විවාහවීමේ අපේක්ෂාවෙන් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.


ඔහු සමග ගිය අවස්ථාවලදී නිරුවත්ව සිටිමින් ඡායාරූප හා වීඩියෝ පටද ලබාගෙන ඇති අතර ලිංගිකව එකට සිටින අවස්ථාවන්හිදී අසභ්‍ය දර්ශන පෙම්වතා විසින් ලබාගෙන ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කළ බවටද තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.


මෙලෙස සබඳතාව පවත්වාගෙන අතරතුරදී 2025 මැයි මාසයේදී සැකකරු වෙනත් කාන්තාවක් සමග විවාහ වී ඇති බවත් ඔහුට දාව මේ වන විට දරුවෙක්ද සිටින බවට තොරතුරු දැනගැනීමට ලැබී ඇති අතර පැමිණිකාරිය මෙම සබඳතාව නතර කිරීමට තීරණය කර ඒ සම්බන්ධයෙන් පෙම්වතා දැනුවත් කර සම්බන්ධතාව නතර කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


පැමිණිකාරිය සම්බන්ධතාව නතර කිරීම හේතුවෙන් ඇගේ සාමාන්‍ය ඡායාරූප,දෙදෙනා සම්බන්ධතාව පැවැති කාලයේදී ලැගුම්හල් වෙත ගිය අවස්ථාවලදී ලබා ගන්නා ලද අසභ්‍ය වීඩියෝ පට සහ අනෙකුත් ඡායාරූප වට්ස්ඇප් මාර්ගයෙන් පැමිණිකාරියගේ ඥාතීන්, මිතුරන් අතර ප්‍රචාරය කිරීමට සැකකරු කටයුතු යොදා ඇත.


එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් විමර්ශන කටයුතු සිදු කරන අතරතුරදී සැකකරු පැමිණිලිකාරියගේ නිවසට පැමිණ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අසල්වාසීන් විසින් එම පුද්ගලයාව අල්ලා කරන්දෙණිය පොලිසිය වෙත භාරදී ඇත.


අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය දැනුම්වත් කිරීමෙන් අනතුරුව විශේෂ පොලිස්‌ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.


පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරීනී චන්දිමා අරුමප්පෙරුමගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා නදීකා දිසානායකගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන තිසර සහ ඉසුරු ගුණතිලක යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..