‘‘ක්‍රීඩකයන්ගේ කඳුළු බරට විදෙස් සංචාර දෙන්නෙ කොහොමද?’’ - ක්‍රීඩා ඇමැති
12 May 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
‘‘ක්‍රීඩකයන්ගේ කඳුළු බරට විදෙස් සංචාර දෙන්නෙ කොහොමද?’’ - ක්‍රීඩා ඇමැති
12 May 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ, විදේශ තරග සංචාරයක් යෑමට අවශ්‍ය බරපැන ඉල්ලා හෙළන කඳුළු ප්‍රමාණය මත ඒ සඳහා වන ප්‍රතිපාදන සැපයිය නොහැකි යැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසා සිටියේය.
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ඉදිරි කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (11වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙලෙස ප්‍රකාශ කරන ලද්දේ, වයස අවුරුදු 18න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලියට සහභාගිවීම සඳහා නේවාසිකව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසන් මොහොතේ එකී සංචාරය අහිමිවීම සම්බන්ධයන් නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
එම සිද්ධියේ වරද වොලිබෝල් සම්මේලනය විසින් භාරගත යුතු අතර තම සම්මේලනය විසින් විදෙස් තරගාවලියක් ඉලක්ක කරගනිමින් කටයුතු කිරීමේදී ඒ සඳහා අනෙකුත් අවශ්‍යතා සපුරාගැනීමේ වගකීම එම සම්මේලනය සතුවන්නේ යැයි අමාත්‍යවරයා විසින් පවසන ලදි. පිළිගත් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා මෙරටින් කණ්ඩායම් සහභාගි වීමේදී ඒ සඳහා වන බරපැන දැරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළද ලොව පැවැත්වෙන සියලු ජාත්‍යන්තර තරගාවලි සඳහා මෙරටින් කණ්ඩායම් ඉදිරිපත් කිරීම පිණිස බරපැන දැරීමේ හැකියාව ක්‍රීඩා අමාත්‍යංශය සතුව නැතැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
යම් සම්මේලනයක් හෝ ජාතික සංගමයක් තම කණ්ඩායම් විදේශ තරගාවලියකට යැවීමට සැලසුම් කිරීමේදී ඒ සඳහා වන වියදම සපයාගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සතුවිය යුතු අතර එසේ නොමැතිවූ විට එම සංචාරය සඳහා සැරසී සිටි ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ කඳුළු සැලූ පමණින් අමාත්‍යංශයට ඒවාට විසඳුම් දිය නොහැකි බව අමාත්‍යවරයා පැවසුවේය.
ක්‍රීඩා කණ්ඩායමක් විදේශගත වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ගැන චක්‍රලේඛ මගින් පැහැදිළිව දන්වා තිබුණිද ජාතික සංගම් ඒ පිළිබඳ සැලකීමකින් තොරව ක්‍රියා කරන බවත්, වොලිබෝල් සම්මේලනය අදාළ සංචාරය සඳහා ගුවන් ගමන් වියදම ඉල්ලා ලිපියක් යොමුකර තිබුණේ කණ්ඩායම විදෙස්ගත වීමට නියමිතව සිටින දින සිට දින 8කට පෙරාතුව බවත් පැවසූ අමාත්‍යවරයා එලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම සංචාරය අහිමි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් නිදහසට කරුණු විමසා ඇතැයිද පවසා සිටියේය.

