ගන්දර කාලි යකින්නියෝ දෙන්නා!
12 November 2026
ගන්දර කාලි යකින්නියෝ දෙන්නා!
12 November 2026
මාතර ගන්දර ප්‍රදේශයේ වීදි සංචාරය කෙරුණු කඨින පෙරහරකට සහභාගී වූ සොළොස් හැවිරිදි දරුවකු ඝාතනය කර තිබේ. පෙරහර දන්සලක් අසල නතර කර සහභාගි වූවන් තේ පැන්වලින් විඩාව නිවා ගනිමින් සිටියදී මෙකී දරුවා ඝාතනය කර ඇතැයි දැනගන්නට ලැබේ. මෙකි කතාවෙහි අපගේ ලොමු ඩැහැගැනීම සහ සොව වඩ වඩාත් තරකිරීමට හේතු වූයේ දහසය හැවිරිදි පාසල් සිසුවා ඝාතනය කළ බව කියන නරුමයන් දෙදෙනාගේ මාතෘ, ජාතක ගැහැනුන් දෙදෙනා සිය පුත්‍ර වසලයන්ටත් අනෙකුත් අයටත් සිසුවා පහසු ගොදුරක් වන සේ, අසරණ ඔහුට සෙලවිය නොහැකි වන සේ, ග්‍රහණය කර ගැනීමයි. තවත් දරුවකුගේ නහය කට කපන තෙක්, ඔහුට මුගුරුවලින් පහර දෙන තෙක් එසේ ග්‍රහණය කරගෙන සිටිය හැකි ගැහැනුන් මව්වරුන් නම් විය නොහැකිමය. උන් මව්වරුන් වන්නට ඇත්තේ ගර්භාෂ කුලියට දීමෙන් විය හැකි යැයි අපට සිතේ. එලෙස ගර්භාෂ කුලියට දෙන ගැහැනු ඕනෑ තරම් සිටිති. දැනගැනීමට ලැබෙන පරිදි ගැටුමට මුල සරුංගල හුටපටයකි. මෙකී හුටපටය පොලිස් පොතේද ලියැවී තිබේ. පොලිසිය ඒ ගැන අධිකරණයට දන්වා තිබේ.
මෙයට කලකට පෙර මෙලක සිටියේ අත් වැඩ පර වැඩ සමව සිතන්නේ යැයි සඳහන් කර තිබෙන පරිදි අනුන්ගේ සහ තමන්ගේ යැයි භේදයක් නැතිව සියලු දරුවන්ට මෙත් වැඩූ මව්පියවරුන්ය. එහෙත් ඒ සියල්ල දැන් කණපිට හැරී තිබේ. මෙකී ගැහැනු කුමන වර්ගයේ උන්දැයි අපට ගැටලුවක් මතුවනුයේ උන් උන්ගේ කුලී ගර්භාෂවලින් එළියට විසි කළ නරුම පැටවුන්ටද කර තිබෙන්නේ කරුමයක් වන හෙයිනි.
මව් ගුණය සියලු මාගමුන්ට එක විදියට පිහිටන ගුණයක් නොවේමය. පිය ගුණද එසේ සියලු පුරුෂයන්ට පිහිටන ඒවා නොවේමය. මෙවැනි ගැහැනුන් පිළිබඳ කතා අහන්නට දකින්නට ලැබෙන කල බුදුන් දවස මතු නොව ඉන් එපිටද විසූ දරුවන් කා දැමූ බව කියන කාලි වැනි යකින්නන්ගේ කතා හැබෑ යැයි අපට සිතේ. කාලී යකින්නද බුදුන් හමුවට පැමිණ උන්වහන්සේගේ බණ අසා ඇති තතු තේරුම්ගෙන, වෛරය දුරු කර සෝතාපත්ති ඵලයට එළැඹි බව බණ පොතේ සඳහන් වෙයි. එනයින් බලන කල ගන්දර නරුම ජාතක මාතෘ ගැහැනුන් දෙදෙනා කාලි යකින්නට උවම් කොට දැක්වීමද එකී යකින්නට නිගාවකි. කාලි යකින්නට සේ මෙකී නරුම ජාතක මාතෘ ගැහැනුන් දෙදෙනාටද වුවමනා වී තිබෙන්නේ සොළොස් හැවිරිදි දරුවාගේ මරණය බව පෙනේ. කාලි යකින්නිය නම් දරුවන් කා බඩ පුරවා ගත් බව බණ පොතේ සඳහන් වෙයි. ගන්දර යකිනියෝ දෙදෙනා වියරුව ඉටු කරගන්නට ඇතැයි සිතිය හැකිය.
හුනු වටයේ කතාවෙහි අසඩක් ගෲෂාට සහ නටාලියාට දරුවා දෙපාවලින් දෙපැත්තට අදින්නයැයි නියෝග කරයි.
"මමයි හැදුවෙ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න."
ගෲෂා අසරණව කියන්නීය.
ගෲෂා කියන්නී සැබෑවකි. දරු දුක දැනෙන්නේ දරුවන් හරියට හැදූ වැඩූ ගැහැනියකගේ හදවතටය! ගන්දර නරුම ජාතක ගැහැනුන් දෙදෙනාට එවැනි හදවතක ඇබිත්තක් හෝ තිබී නැති සැටියකි. උන්ට එවැනි දරු දුක දැනෙන හදවතක් වී නම් කිසි කලෙක තවත් දරුවකු මරා දැමීමට ඉඩ දෙන්නේ නැත.
සිංහල බෞද්ධයැයි කෑ මොර දෙන සමාජයේ පරිහානිය මෙවැනි තැනකට වැටී තිබේ. එහි නායකයන්ට දේශපාලනය පිළිබඳ තිබෙන උනන්දුව මෙවැනි කඩාවැටීම් වළක්වා ගැනීමට නොමැති වීම දුකට, සොවට හේතුවකි. මෙකී සිදුවීම හුදෙක් එක් තැනක හුදෙකලා සිදුවීමක් සේ නොසැලකිය යුතුය. එය සමාජයේ මනුස්සත්වයේ ගරා වැටීමේ තරම මොනවට මතුකරන්නකි. මනුෂ්‍යත්වය බිඳ වැටුණු තැන සදාචාරය හෝ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ කවර කතාද? රටේ බණ කියන භික්ෂූහු ද ගිහි දෙසන්නෝ ද ඕනෑ තරම් සිටිති. ඒ බොහෝ ඇත්තන් බණ තෙපලනුයේ වහ වහා නිවන් දැක්වීමටය. නිවා ගැනීමට කලින් මෙවැනි කඩා වැටීම්වලට විසඳුම් සොයා ගත යුතු නොවේද? තවත් දරුවකු දෙස දරුවකු හැටියට බැලිය නොහැකි නම් පින්කමක් අස්සේ මරාගන්නේ නම් අපේ කවර නම් දියුණුවක්ද? අනෙක් අතට මෙවැනි පින්කම් සංවිධානය කරන භික්ෂූන් වහන්සේට සහ දායකකාරකාදීන්ටද යමක් කිව යුතුය. දැන් කඨිනය නමින් විච්චූරණ බොහෝය. සමහර තැන්වල කඨින චීවරය වඩම්මන පෙරහරෙහි අලි ඇත්තු ද ගමන් කරති. මේ පිළිබඳ පන්සල්වල තිබෙන්නේ තරගයකි. පින්කමක තිබිය යුතු චාම් බව සරල බව විනාශ වී ඇත.
ඒ කෙසේ වෙතත් එක් පෙරහරට දෙපෙරහරක් කළත් අපට කම් නැත. පෙරහරෙහි ගමන් කරන දරුවන් ඇතුළු උදවියට ආරක්ෂාව සපයන නිසි වැඩ පිළිවෙළක් තිබිය යුතුය. අප දන්නා පරිදි කඨින පෙරහරක පනහකට ආසන්න පිරිසක් ගමන් කරති. මෙකී දරුවා මරා දමන තෙක් පෙරහරෙහි ගමන් කළ උදවිය කුමක් කළහුද? පලා ගියෝද? ගොම බෙටි දමමින් දුවගියෝද? නගුට උස්සාගෙන දුවගියෝද? පිරිමි නොසිටියෝද? මෙවැනි සිදුවීම් මගින් හෝ පාඩම් උගෙන කඨින පෙරහර ආදිය නොපවත්වා සරලව චාම්ව පින්කම් කිරීමට යොමු විය යුතුයි. පෙරහර ආදිය කිරීමට ඇවැසි නම් මින්මතුවට කාලි යකින්නියන් දමනය කළ හැකි හොඳ යකැදුරන් කිහිපදෙනකු හෝ පන්දම් සමග පෙරහරේ රැගෙන යා යුතුය! එසේම පොලිසියටද යමක් කිව යුතුය. මෙවැනි ගැටලු හැකි ඉක්මනට විසඳා ගැනීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුය.


