brand logo
logo
එකම අංකය සහිත ත්‍රීරෝද රථ දෙකක් හිමිකරුවන් සමඟ අත්අඩංගුවට

එකම අංකය සහිත ත්‍රීරෝද රථ දෙකක් හිමිකරුවන් සමඟ අත්අඩංගුවට

13 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


එකම අංකයක් යොදා ධාවනය කර තිබූ ත්‍රීරෝද රථ දෙකක් එම රථවල හිමිකරුවන් දෙදෙනා ද සමඟ අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.


රාගල සහ නුවරඑළිය, ශාන්තිපුර ප්‍රදේශවල තිබී මෙම ත්‍රීරෝද රථ දෙක සොයාගෙන ඇති අතර, ශාන්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථය කුලී ගමන් සඳහා යොදාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


අනෙක් ත්‍රීරෝද රථය රාගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ. සැකකරුවන් දෙදෙනාම ඥාතීන් බව ද ත්‍රීරෝද රථ දෙක අත්අඩංගුවට ගත් නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පැවසූහ.


ත්‍රීරෝද රථ දෙකම එකම අංකයක් යොදා ධාවනය කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ සහ නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදු කෙරේ.


ඒ අනුව, ත්‍රීරෝද රථ දෙකේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති එස්.පී. කොහොල්දෙණිය සඳහන් කළේය.

 

More News..