ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට
05 August 2026
ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට
05 August 2026
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.
හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම එම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී කණ්ඩායම "Anchor Jaffna Kings" ලෙස නම් කිරීමට නියමිතය.
පසුගිය ජූලි 23 වැනිදා පෙර හිමිකාරීත්වය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ LPL හිමිකම් දරන Innovation Production Group යටතේ කණ්ඩායම තාවකාලික පරිපාලනයට ගෙන තිබූ අතර, මෙම ගනුදෙනුවත් සමඟ එය නැවත ස්ථාවර හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.
Anchor Sports AB සමාගම මේ වනවිට බෙල්ජියමේ European T20 Premier League තරගාවලියේ Antwerp Anchors සහ කැනඩාවේ Super60 ලීගයේ Vancouver Anchors පිරිමි හා කාන්තා කණ්ඩායම්ද හිමිකරගෙන සිටින අතර, ජැෆ්නා කණ්ඩායමද එම ජාත්‍යන්තර ක්‍රීඩා ජාලයට එක්වනු ඇත.
ජැෆ්නා කණ්ඩායමේ පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එම හිමිකාරීත්වය අවසන් කෙරිණි. එම සමාගමේ අනෙක් සම හිමිකරු මයංක් ගෝයල්ගේ ස්ථානයද මේ වනවිට අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
පිටියෙන් පිටත අර්බුද මධ්‍යයේ වුවද ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස ශූරතා පහෙන් හතරක්ම දිනාගෙන ඇති අතර, මෙවර තරගාවලියේද මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.
නාගේන්ද්‍ර සිද්දෞතම් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්ප්‍රදායට ගරු කරන බවත්, ජැෆ්නා කණ්ඩායමට ආයෝජනය කරමින් LPL තරගාවලියේ ඉදිරි සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන බවත්ය.
සහීර් ඛාන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ බිහිවන වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තමා සැමවිටම අගය කළ බවත්, හිමිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්ය.
මේ අතර, LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල සඳහන් කළේ සහීර් ඛාන් වැනි අත්දැකීම් සපිරි පුද්ගලයෙකුගේ සම්බන්ධත්වය ලීගයට විශාල ශක්තියක් වන අතර, ඔහුගේ මඟපෙන්වීම ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට වැදගත් වනු ඇති බවයි.

