Best News Website award
brand logo
logo
මහානායක හිමිවරු එතෙර වැඩියෝද?

මහානායක හිමිවරු එතෙර වැඩියෝද?

13 November 2026


ආණ්ඩුව ඉන්දියාව සමග එකතුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අනුරාධපුර අටමස්ථානය පදනම් කරගත් අලුත් සැලැස්මට බෞද්ධ සමාජය තුළ දැඩි විරෝධයක් ඇතිවී තිබේ. බලන්ගොඩ කස්සප හිමිනම ඇතුළු කණ්ඩායමක් උපවාසයක් ආරම්භ කර තිබෙන්නේ එකී විරෝධයද පදනම් කරගෙන බව සඳහන් කළ යුතුය. ඊයේ (නොවැම්බර් 12) එකී උපවාස භූමියට රාජාංගනේ සද්ධාරතන හිමි නම ඇතුළු කණ්ඩායමක් ඇතුළු වීම හේතුවෙන් ඇතිවූ ගැටුම ඉතාම ජුගුප්සාජනකය. ගැටුම පිළිබඳ වීඩියෝ පට නිරීක්ෂණය කරන විට අපට පැහැදිලි වනුයේ දෙපාර්ශ්වයටම බුදුන් වහන්සේගේ ශාන්තිවාදී බණ දහම් අමතක වී තිබුණු බවය. හිතාමතාම බණ නොතකා කටයුතු කර තිබෙන බවය. සද්ධාරතන හිමියන්ගේ කල්කිරියාව පිළිබඳ අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත. උන්වහන්සේ යම් දේශපාලන ව්‍යාපෘතියක් අනුව පාවිච්චි වෙන බව නොකිව මනාය. ඒ හිමියන් උපවාස භූමියට ගියේද එකී ව්‍යාපෘතිය යටතේ බව පැහැදිලිය. එය වඩාත් සනාථ වනුයේ එහි යාමට දින කිහිපයකට පමණ පෙර සිටම සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය කරනු ලැබීමය. එසේම දේශපාලන කේඩරයන්ද පිරිවරාගෙන ඒ හිමියන් උපවාසය කරන තැනට පිවිසියේද ගැටුමකට අර අදින ආකාරයටය. අනෙක් දිනවලදී මෙවැනි තැන්වල පොලිස් නිලධාරීන් ඕනෑ තරම් සොයා ගත හැකි වුවද ඊයේ එහි එකදු පොලිස් නිලධාරියකු දැක ගත නොහැකි විය. එමගින් පැහැදිලි වනුයේ යම් කිසි කණ්ඩායමකට එහි ගැටුමක් ඇති කිරීමට උවමනාවක් තිබුණු බව නොවේද?


අවසානයේ භික්ෂූහු දඬු මුගුරු හරස් කරගෙන ගැටුමට පිවිසියෝය. එය අවසන් වූයේ ලේ වැගිරීමෙනි. මෙවැනි තැනකට ගැටුම වර්ධනය වූයේ කවර හේතු නිසා දැයි විමසා බැලිය යුතුය. අටමස්ථානය පදනම් කරගත් නව ව්‍යාපෘතිය පිළිබඳ ආණ්ඩුවද එක් අදහසක් ප්‍රකාශ කරන්නේ නැත. සංස්කෘතික ඇමති විවිධ කතා කියයි. විටෙක ඔහු ස්මාරක කතාවක් කියයි. අලුත් වැටක් ගැනද කතා කරයි. අනුරාධපුරය පදනම් කරගත් අටමස්ථානය යනු සිංහල බෞද්ධ ජනතාවගේ හදබිමය. ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ගෙන එන්නේ නම් ඒ පිළිබඳ ඇත්ත යුත්ත සිංහල බෞද්ධ සමාජය සමග සාකච්ඡා කළ යුතුය. වගකිවයුතු ආයතන සමග සාකච්ඡා කළ යුතුය. එසේ වුවද ආණ්ඩුවේ ප්‍රකාශකයන් විටින් විට කරන පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් ඒ පිළිබඳව විශ්වාසයක් තබාගත හැකි අදහසක් නොමැත. පසුගිය කාලයේ ආණ්ඩුව ඉන්දියාව සමග විවිධ ගිවිසුම් අත්සන් කළ බව අපි දනිමු. එකී ගිවිසුම් කවර ඒවා දැයි මහජනතාව දන්නේ නැත. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනුයේ එකී ගිවිසුම් ප්‍රකාරව දැයි ද අප දන්නේ නැත. ආණ්ඩුව බලයට පත්වූ විගසම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නා ගත්තේය. එයටද හේතු වූයේ එකී වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතනවලින් ලබාදෙන බව සඳහන් මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හදිසියයි. එනිසා ප්‍රතිසංස්කරණ පිළිබඳ රටේ බුද්ධිමය සංවාදයක් ඇති කර අදහස් උදහස් විමසීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නොවීය.


අනුරාධපුර අටමස්ථානයේ පදනම් කරගත් සැලසුම පිළිබඳ ආණ්ඩුව දැඩිසේ උනන්දු වීමට බලපා තිබෙන ප්‍රධාන හේතුවක් වනුයේ එමගින් අති විශාල මුදලක් ලැබීම විය හැකිය. විදේශ විනිමය අර්බුදයකට මුහුණපා තිබෙන ආණ්ඩුව තුත්තිරි ගහේත් එල්ලීමට යොමුවීම පුදුමයක් ද නොවේ. එහෙත් ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ තිබෙන ගැටලු විසඳා ගත හැකි ආකාරයට විනා නව ගැටලු ඇතිවන ආකාරයට නොවන බව එහි උපදේශකයන් හෝ කියා දිය යුතුය. ආණ්ඩුව කළ යුතුව තිබුණේ මුලින් සඳහන් කළ පරිදි යෝජිත නව සැලැස්ම පිළිබඳ රටේ සියලුම වගකිවයුතු භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ නායකයන් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමය. තමන්ට ඕනෑ විදියට බෞද්ධ සමාජය පාලනය කර ගත හැකි යැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එයද මුලාවක් බව සඳහන් කළ යුතුය. රට කරවූ බොහෝ ආණ්ඩු එසේ කල්පනා කර තිබේ.


මෙහිලා අපට තිබෙන බරපතළ ගැටලුව නම් මේ රටේ මහානායක හිමිවරුන්ගේ නිහඬියාවය. ප්‍රධාන වශයෙන් මහා නායක හිමිවරු සිව් නමක් සිටිති. එසේම අනුනිකායවල සහ පාර්ශ්වවල ද මහානායක හිමිවරු සිටිති. අනුනායක හිමිවරු එයටත් වඩා සිටිති. මේ මහානායක හිමිවරුන්ට රටේ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන් කැඳවා මෙකී ගැටලු පිළිබඳ සෘජුව සාකච්ඡා කළ නොහැක්කේ කවර හේතු නිසා දැයි විමසිය යුතුය. උන්වහන්සේලා ඒ පිළිබඳ සාකච්ඡා කර නොපමාව තම මතය බෞද්ධ සමාජයට දන්වන්නේ නම් අනවශ්‍ය ගැටලු මතුවන්නේ නැත. භික්ෂූන් දඬු මුගුරු හරස් කරගෙන ලේ හලාගන්නේද නැත. භික්ෂූන් නොපමාව රැස්වී සමගියෙන් මේවා පිළිබඳ සාකච්ඡා කළ යුතු නොවේද? විවිධ තැන්වල බෞද්ධ කණ්ඩායම්, මේ ප්‍රශ්න පදනම් කරගෙන උද්ඝෝෂණ විරෝධතා ඇතිකර ගනුයේ වගකීව යුතු තැන්වල නිහැඬියාව නිසාය. මෙතරම් සන්තෑසි සිදුවනුයේ මහානායක හිමිවරුන් එතෙර වැඩ සිටින නිසාදැයි යන ගැටලුවක් අපට ඇතිවෙයි. උන්වහන්සේලා රටෙහි වැඩ සිටිත් නම් මේ ආකාරයට බෞද්ධ සමාජයේ ගැටලු ඔඩුදුව යා හැකිද?

 

More News..