brand logo
logo
වර්ෂාවෙන් සිදුවූ වගා හානි සඳහා රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

වර්ෂාවෙන් සිදුවූ වගා හානි සඳහා රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

19 May 2026

පසුගිය දිනවලදී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා තක්සේරු කිරීම්වලින් පසුව හානි තත්ත්වයන්වලට අනුව හෙක්ටාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.


එහිදී වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු යන වගාවන් සඳහා මෙසේ වන්දි මුදල් නිදහස් කරනු ලබන බව සඳහන්.


ඒ අනුව හානියට පත් වගාවන් සම්බන්ධයෙන් ඉදිරි දින 14ක් තුළ සියළුම ගොවි මහතුන් අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ හානි වාර්තා කළ යුතුවේ.


මේ සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අයකර ගැනීමෙන් තොරව නොමිලේ රක්ෂණය යටතේ රජය විසින් වන්දි මුදල් ලබාදීම සිදු කරනු ලැබේ.


පසුගිය දිනවලදී ඇති වූ අයහපත් කාලගුණික අවපීඩන තත්ත්වය යටතේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කයන්හි වගා බිම් ජලයෙන් යටවී ඇති අතර, එම ජලය බැස යාමෙන් අනතුරුව හානි වූ වගා බිම් ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව ඇත.


2026 වර්ෂයේ යල කන්නයේ වගා කිරීම ආරම්භයත් සමඟ ඇති වූ මෙම අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගා පද්ධති, වගාවේ මූලික අවස්ථාවේ පවතී.


රටේ ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වන අතර අඛණ්ඩව අධීක්ෂණ කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත උපරිම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යතුමා විසින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත.



 

More News..