Best News Website award
brand logo
logo
කුඹුරු ලියැද්දක කුරහන් පීදෙයි

කුඹුරු ලියැද්දක කුරහන් පීදෙයි

21 November 2026

එකල අපේ පාසලේ උද්භිද විද්‍යාව ඉගැන්වූ නෝනිස් ගුරු මහතාගේ ඉගැන්වීම් රටාව දශක හතරකට පමණ පසුව වුවද අපගේ ඇතැම් පන්ති සගයන්ට තවමත් අමතක වී නැත. ශාකයන්හි විද්‍යාත්මක නාම උදාහරණ සහිතව කළුලෑල්ලේ ලියමින් සිටි ඔහු පන්තියට පිටුපා සිටියදීම සිසුන්ගෙන් විමසා සිටියේ කැන්ද ගසෙහි විද්‍යාත්මක ලතින් නාමය කුමක්ද යන්නයි. කවදත් කටට බ්‍රේක්නැති ‘අපේ එකෙක්’ හීන්සීරුවේ බිම බලාගෙන ‘හැලපේනියා ඔතානිස්’ යයි කීවේ වැඩේ එතරම් දුරදිග යනු ඇතැයි සිහිනෙන්වත් සිතූ නිසා නොවේ. ඊට අමතරව එහි සත්‍ය නාමය වන මැකරැන්ගා පෙල්ටාටා යන්න, විෂයයට ආධුනිකයන් වූ අප එවකට දැන සිටියේද නැත. පන්තියේ තිබුණු නිහඬතාවය නිසාම කතාව ටිකක් සද්දෙට හැමෝටම ඇසුණි.

ආපසු හැරුණු නෝනිස් මහතාගේ ප්‍රතිචාරය හමුවේ රතුපාට වූ ගැටවරයාගේ සුදුපාට කම්මුල සවස් වෙනතුරුත් නියම පැහැයට නොහැරුණු අතර, ගුරුවරුන්ගේ සීමාසහිත මෙන්ම සාධාරණ දඬුවම් දරුවන්ගේ යහපතටම බව එකල සැලකූ බැවින් මාපියන් ඇතුළු කිසිවෙක් නීතිපොතේ වගන්ති කියවන්නට පැමිණියේ ද නැත. එම පන්ති මිතුරා අද ඔස්ට්‍රේලියාවේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකි. අදටත් කොළඹ සුපිරි පාසලක් ලෙස හඳුන්වන මෙහි තිබූ විශාල ආපන ශාලාවේවත් එදවස හැලප විකුණුවේ නැති නමුත්, කුරහන් හැලප සතු පෝෂණ වටිනාකම මේවෙත්දී නාගරික සමාජය තුළට ද යහමින් කාන්දුවී ඇති බැවින් කොළඹ හතේ සුපිරි කැන්ටිමක වුවත් මෙය ජනප්‍රිය කෑමක් බවට දැන් පත්වී තිබේ. පාසල් කැන්ටිමේ වුවත් අද දවසේ හැලප නොතිබේ නම් පුදුමයකි.


කැන්ද කොලයක් දෙකට නමා එතුළ සිරකර තැම්බූ පැණිරස ආහාරයක් වන හැලප ගැන කියන විට නව පරපුරේ අයට වුවත් කුරහන් හෝ කුරක්කන් ගැන අදහසක් සිතට ආවත්, මේ අපූරු භෝගය ගැන විධිමත් අවධානයක් යොමුකර ඇතිදැයි අපට නම් ඇත්තේ බරපතළ දෙගිඩියාවකි. මීට වසර 20කට පමණ පෙර ‘රාවනා’ සහ 2007 වසරේ දී ‘ඕෂධ’ වශයෙන් වැඩි අස්වැන්න දෙන කුරක්කන් ප්‍රභේද දෙකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ද නිදහස්කර තිබේ. නිසි ක්‍රමවේද අනුගමනය කරමින් තවාන්දමා පසුව පැළ සිටුවීම වැනි දෙපාර්තමේන්තුව දෙන වගා උපදෙස් අනුගමනය කරන්නේ නම් හෙක්ටයාරයකට ටොන් 3-4ක් වැනි අස්වැන්නක් ලබාදීමට වුවද මේ ප්‍රභේද සමත්ය.


2014 සිට 2017 දක්වා වූ වසර තුන ගතහොත් අප කුරක්කන් නිපදවා ඇත්තේ පිළිවෙලින් මෙට්‍රික් ටොන් 8,850, 8,925 හා 8,565 වැනි ප්‍රමාණයකි. එසේනම් එකල වුවද දේශපාලන වේදිකාවල කුරහන් කතා ඇසුණ ද, එම සද්දය එතරම් සාර්ථකව ගොවිබිම වෙතට කාන්දුවී ඇති බවක් නම් පෙනෙන්නේ නැත. අනෙක් අතට කුරක්කන් ආනයන වාර්තා දෙස බැලූ විටද පෙනෙන්නේ එය වසරකට මෙට්‍රික් ටොන් 1,400ක් වැනි අගයක් අවට එහාමෙහා වෙමින් එකල පැවැති බවයි. මෙහි අරුත වන්නේ මේ සැඟවුණු නිධානය ගොඩගන්නටත්, එහි පෝෂණීය ගුණය උකහා ගන්නට අපේ ජනතාවට වාසනාවක් නැති බවද?

මෙවැනි පසුගාමී සිතිවිලි තරමකට හෝ ආපසු හරවන්නට සමත්වෙන ආරංචියක් පසුගියදා අසන්නට ලැබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දියත් කරන ලද අලුත් වැඩසටහනක් සමගය. හම්බන්තොට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කරමින් කුරහන් වගාවේ බෝගනායක ලෙස පත්වීම් ලබා ඇති සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මිහිර විජයමුණි පවසා සිටියේ ‘කුරහන් මිහිර’ නම් වූ ව්‍යාපෘතියක් පසුගිය නොවැම්බර් පස්වෙනිදා ලුණුගම්වෙහෙර පැත්තේ වෙල්යායක දී ආරම්භ කළ බවයි. තමාගේ නමෙහි කොටසක් වැඩසටහනේ නම සමග ඈඳී තිබීමේ සම්බන්ධතාවයක් නම් නැතිබවත් පවසමින්ම හෙතෙම කතාව පටන්ගති.

‘අලුත්ම වාර්තාවලට අනුව අපිට වාර්ෂිකව උවමනා වෙනවා කුරක්කන් ටොන් 10,000ක් විතර. අපි එච්චර හදන්නේ නෑ. ටොන් දෙතුන්දාහක් රුපියල් මිලියන 600-900 අතර ගාණක් වැයකරලා ඉන්දියාවෙන් ගේනවා. ඔන්න ඔය මුදල ඉතුරු කරගන්නයි, ජනතාවගේ කුරහන් පරිභෝජනය වැඩිදියුණු කරන්නයි තමයි මේ වැඩසටහන දියත්කෙරුවේ. විශේෂ කරුණක් වන්නේ මෙය කෙරෙන්නේ කුඹුරු ලියද්දක වීමයි. අක්කර අටෙන් එකක, ඒ කියන්නේ පර්චස් විස්සක පමණ කොටසක, පැළ සිටුවීමේ ක්‍රමයට අපි කුඹුරේ කුරහන් වවනවා. වපුරනවා වගේ නෙවෙයි එතකොට උපරිම අස්වැන්නකුත් එනවා. කිලෝග්‍රෑම් 120-150 අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. වෙළෙඳපොළ අගය රුපියල් 450 වුණොත් කිලෝ එකසිය හතළිහකට රුපියල් 63,000යි. ගොයම් හැදුවනම් ඔය ලියැද්දෙන් වී කිලෝ 250 විතර එනවා තමයි. කිලෝව එකසිය විස්සට විකුණුවත් ආදායම වෙන්නේ රුපියල් තිස්දාහයි. කුරහන් වගාවේ ආදායම දෙගුණයක්ම වැඩියි නේද?’

විජයමුණි මහතා පවසන ආකාරයට දිරිගැන්වීම කෙරෙන්නේ වෙල්යායක ඉහලම පිහිටන ලියදි කුරහන් සඳහා යොදාගන්නටය. ජලය වැඩියෙන් ඉල්ලා සිටින ගොයම එතැනින් ඉවත්වීමත්, සාපේක්ෂව වියළි පසක් උවමනා කුරක්කන්වලට නිසි උපස්තරයක් ලැබීමත් මේ හරහා පහසුවෙන්ම සිදුවෙන බැවින් වැඩේනම් ගොවියාගේ පැත්තෙන් වාසිදායකය. සුදුස්සාට නිසිතැන නොලැබීම සමාජයේ අරටු බැසගෙන සිටියත් වෙලේ ලියැද්දේවත් එය සිදුවන්නේනම් කෙතරම් සුන්දරද? මාස් කන්නයට දල වශයෙන් අක්කර විසිලක්ෂයක වී වගාකෙරෙද්දී එයින් හතරෙන් පංගුවකවත්, එනම් අක්කර ලක්ෂ පහකවත් අටෙන් එකේ කෑලිවල කුරක්කන් වවන්නේ නම් එතැන තිබෙනා භූමි එකතුව අක්කර 62,500කි. අක්කරයකින් කිලෝග්‍රෑම් දහසක් නොහොත් ටොන් එකක් ලැබේයයි සිතුවත් දැනට රටේ පරිභෝජන අවශ්‍යතාවය මෙන් හයගුණයක පමණ අස්වැන්නක් මේ අනුව නිපදවන්නේය. එසේනම් ආනයනික කුරක්කන් ප්‍රශ්නය අවසන් කරනවා පමණක් නොව, අතිරික්ත අස්වැන්න පරිභෝජනය කිරීමේ මංපෙත් විවර කිරීමද බෝගනායක ඇතුළු කණ්ඩායමේ වගකීමයි.

කැලේ පිපෙන මල් කැලයේදීම මිලින වියයුතු නොවේ. තිරිඟු, බඩඉරිඟු, වී වැනි බෝග වර්ග තුනක් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින්, හැටේ දශකයෙන් පටන්ගෙන පැතිරුණු හරිත විප්ලවය නිසා මිනිසාගේ බඩගිනි නිවන්නට සහාය වූ භෝග මාදිලි ගණනාවකටම කුඩම්මාගේ සැලකිලි විඳින්නට සිදුවුණි. අප්‍රිකාවේ උගන්ඩා හා ඉතියෝපියා භූමියන්හි වසර 5,000ක පමණ සිට ආදිවාසීන්ගේ ආහාරයක්ව පැවැති කුරක්කන් ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 3,000කට පමණ පෙරදීය. ඉන්දියානුවන් අතර හොඳින් මුල්බැසගත් කුරක්කන් හෙක්ටයාර් මිලියන තිස්හතක් පමණ ප්‍රමාණයක්, හරිත විප්ලවය ඇරැඹෙන සමයේ දී ඉන්දියාවේ වගාකර තිබිණි. වාරිජලය ලබාගත හැකි ඉඩම්වලට ගොයම් හා තිරිඟු හඳුන්වාදෙමින් ඉන්දියාව හරිත විප්ලවය වැළඳගනිද්දී, කුරහන් පල්ලම් බැසීම කෙතරම් දරුණුවීද කියනවානම් 2016 වසර වනවිට එහි වවා තිබූ කුරහන් වපසරිය වූයේ හෙක්ටයාර් මිලියන 14ක් නොහොත් විප්ලවයට පෙර තිබූ ප්‍රමාණයෙන් 35% ක් පමණය.

එහෙත් ඉන්දියාව තවමත් අපට කුරහන් විකුණන තත්ත්වයක සිටිනවා පමණක් නොව, එයින් නොනැවතී තම මුතුන්මිත්තන් තළුමරමින් අනුභව කළ, සුළු ධාන්‍ය (Millets) වර්ග බොහොමයක් කෙරෙහි වැඩි අවධානයක් ද ලබාදෙමින් සිටී. එරට ජාතික ආහාර සුරක්ෂිතතා මෙහෙයුම යටතේ, ආන්ද්‍රා ප්‍රදේශ්, කර්නටකා, තමිල්නාඩු වැනි ප්‍රාන්තයන්හි සහභාගිත්වයෙන් 2018 වසර ‘සුළු ධාන්‍ය භෝග වසර’ ලෙස ප්‍රකාශයට පත්කරන්නට එරට බලධාරීන් කටයුතු කෙරුවේ භෝගය සතු දිරිය යළි අවදිකර, ජනතා සුබසිද්ධිය වෙනුවෙන් උපරිමය ලබා දෙන්නටය. මීට අමතරව, තිරිඟු වැනි භෝග බහුලව වගාකරන උතුරු ඉන්දියානු වෙළෙඳසල්වල කුරක්කන්වලින් තැනූ ළදරු ආහාර, අතුරුපස, අයිස්ක්‍රීම් වැනි දේ පමණක් නොව කුරක්කන් පිටි යොදාගෙන පෙරූ මත්පැන් පවා විකිණීමෙන් පෙනී යන්නේ ඉන්දියානුවන් ‘ඊයේ රළු ධාන්‍යය - අද පෝෂ්‍ය ධාන්‍යය’ යන උද්‍යෝගිමත් පාඨයට කෙතරම් අවනතවී ඇතිද යන්නයි. කුරහන් මිහිර තවත් සුමිහිරි වන්නට නම් දෙකට නැමූ කැන්ද කොලය ඇතුලේ සිරකළ හැලපයෙන් ඔබ්බට යමින් ඉන්දියානු පන්නයටවත් හැඩගැසීමට දැන් කාලය පැමිණ තිබේ.


‘වී කිලෝවක් හදන්න වතුර ලීටර් 5000ක් පමණ වැයවෙනවා. කුරක්කන් කිලෝ එකකට ජලය අවශ්‍ය වෙන්නේ ලීටර් 250-300 අතර ගණනක්.’


ඇඟට දැනෙන එම අනාවරණය කරන්නේ මෙනේරි වර්ග පිළිබඳව සමස්ත ඉන්දීය පර්යේෂණ ව්‍යාපෘතියක් මෙහෙය වූ ප්‍රභාකර් නමැති විද්වතෙකි. නියඟයෙන් පීඩා විඳින නිසාම උදේ හවා වැස්ස වලාහක දෙවියන්ට පඬුරු ගැටගසමින් දියබිඳක් අයදින වියළි කලාපීය ගොවියාට ඇසෙන්නට ඔහුගේ කතාව ප්‍රචාරය කළයුතුය. පරිසර උෂ්ණත්වය අංශක හතළිහට පමණ නැග්ගත් කුරහන් ශාකයට එය නොදැනෙනා සේම, වතුර නැතිව මාසයක පමණ කාලයක් වුවත් දිවි රැකගන්නටත් එයට හැකියාව තිබේ. වතුර රැඳී තිබෙන පසෙහි ඉන්නටත් පුළුවන් බැවින්, අහම්බෙන් හෝ වැඩි වැස්සකට කුඹුර තෙමුනත් වගාවට හානියක්ද නොවන්නේය. මුහුදු මට්ටමෙන් මීටර් 2,000කට වඩා උසැති හිමාල අඩවියේද කුරක්කන් වැවේ. කෘෂිරසායන ද්‍රව්‍යයන්ද ඉතාම අවමයෙන් අවශ්‍ය වන භෝගයක් නිසාත්, රටපුරා ඕනෑම දේශගුණයක් යටතේ වවන්නට හැකිවීම නිසාත්, වී වගාකරමින් අවදානම් ගමනක් යන ගොවියාට මෙය මහත් අස්වැසිල්ලකි. බීජවල ජීව්‍යකාලය ඇතැම්විට වසර 50 ක් පමණ රැකෙනා බවට ද වාර්තා ඇත. ඒ නිසාම මෙය වචනයේ පරිසමාප්තියෙන්ම ‘දේශගුණ සුහුරු’ (Climate Smart) ධාන්‍යයක් බවට සැක නැත.

කුරක්කන් තුළ වෙනත් කිසිදු ධාන්‍යයකින් ලද නොහැකි තරමට කැල්සියම් හා යකඩ අන්තර්ගතය. අපගේ පැරැන්නන් ඇතැම්විට තම ප්‍රධාන ආහාරය හැටියටත් කුරක්කන් අනුභව කරමින් කිනම් ආශ්වාදයක් ලබන්නට ඇතිදැයි සිතෙන්නේ, ලුණුමිරිස් තවරාගත් පාන්පිටි රොටියක් හෝ එසේත් නැත්නම් පරිප්පු ඇට කීපයක් පාවෙන හොදි පීරිසියක ඔබමින් පාන් කාලක් හෝ ගිලදමන නාගරිකයෙක් දකින විටදීය. වතුර මුට්ටියක් ළිප තබා ලුණු ටිකක් එකතුකර, උතුරන වතුරට ටිකෙන් ටික කුරහන් පිටි එකතුකරමින් හා හැඳිගාමින් ‘තලපයක්’ සාදාගන්නා සූපවේදය, විච්චූරණ කෑම ජාති හදන බොහොමයක් නෝනලාට ඇතැම් විට සරල වැඩිනිසාම නොතේරෙන්නටද පුළුවන.

කුඩා ගුළි ලෙස මෙම තලපය හසුරුවමින් මස්හොදි හෝ එවැනි ස්නේහකයක් සමග බඩකට පුරා ගිලදැමුවත් මින් අගුණයක් නම් වාර්තා නොවේ. කුරක්කන් පිටිවල තන්තු බහුල නිසා උදරගත වෙන ආහාරයෙන් සෑහෙන කොටසක් ජීර්ණයටවත් හසුවන්නේ නැත. ග්ලූටන් නැති නිසා ආන්ත්‍රික හානිද නැත. ජීර්ණය හෙමිහිට සිදුවෙන බැවින් රුධිරයට ග්ලූකෝස් නිදහස්වීම ද මන්දගාමීව සිදුවේ. එබැවින් දියවැඩියා රෝගීන්ට ද මෙය ආරක්ෂා සහිත ආහාරයකි. කුරක්කන් අනුභවය නිසා ශරීරගත වෙන කැල්සියම්, යකඩ ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථවල එකමුතුවට සමකරන්නට, සුදුපාට පාන් හපමින් මල්ටි විටමින් කරල් ලොරියක් ගිලදැමුවත් බැරිය. අපගේ කුරක්කන් අනුභවය, හැලපයකට හෝ දිලිසෙන ඇසුරුමක දැවටූ කුරක්කන් බිස්කට් කීපයකට සීමානොකර ඉදිරියට ගන්නටත් බලධාරීන් පියවරගන්නේ නම්, ‘කුරහන් මිහිර’ තවතවත් රසවත් වනු නොඅනුමානය.

 

More News..