මහ සෙනඟ මැද බන්ධා පොලිසියට පස්ස පෙන්වන්න ඕනේ
19 July 2026
මහ සෙනඟ මැද බන්ධා පොලිසියට පස්ස පෙන්වන්න ඕනේ
19 July 2026
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර තුනහමාරක් සිර දඬුවම් විඳි විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න නිදහස ලැබුවේ ගිය සතියේය. මීගමුව බන්ධනාගාරයේ කෝලාහලය වන විටත් ඔහු සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. නිදහස ලබා පිටතට පැමිණි විගස ඔහු බන්ධනාගාරයේදී මුහුණ දුන් අත්දැකීම් හෙළි කළේය. මේ ඔහු සමග ඒ ගැන කළ කතාබහකි.
මීගමුව බන්ධනාගාරයේ කෝලාහලය වන විට ඔබ සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ නේද?
ඔව්. මම නිදහස් වුණේ 8 වැනිදා. අපි එදා සිද්ධිය ටීවී එකෙන් දැක්කා. අපිට ටීවී බලන්න පුළුවන්නෙ. පත්තර බලන්නත් පුළුවන්. අරුණ පත්තරෙත් අපි ඇතුළෙදි බලනවා.
මීගමු සිද්ධිය ගැන වැලිකඩ රැඳවූවෝ මොනවද කියන්නේ?
එයාලා මීගමුව බන්ධනාගාරේ කලින් තත්ත්වය ගැන කතාවුණා. එහි හිටපු බන්ධනාගාර අධිකාරී සහ ප්‍රධාන ජේලර් මෑතකදී මාරු වුණා. මීගමුව බන්ධනාගාරයේ කියන්නේ මීට කලින් දුම්කොළ කෑල්ලක් තියා ෆෝන් එකක්වත් නැති තැනක්. නීතිරීති තදටම තිබුණා. හැබැයි නිලධාරීන් මාරු වුණාම පරිපාලනය ලිහිල් කළා. ඒක නිසයි කිසිම ප්‍රශ්නයක් නැතුව රැඳවූවන් ගැටුමට බැස්සේ. කලින් හිටපු බන්ධනාගාර අධිකාරි, ප්‍රධාන ජේලර් හිටිය නම් රැඳවූවන් ඔහොම ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ තරම් හොඳ පාලනයක් තිබුණා.
වතුරයට කරපු රබර් බෝලයක් උඩට ආවා වගේ වැඩක් එදා වුණේ. බන්ධා පොලිස් නිලධාරීන් හිරගේ ඇතුළේ ප්‍රසිද්ධ, මානුෂීයත්වයක් නැති අය විදියටයි. එයාලා ඉන්නෙම පරීක්ෂා කරන්න විතරයි. හැබැයි එදා පහරදීම අනුමත කරන්න බැහැ.
* බන්ධා පොලිස් නිලධාරින් මානුෂිය නැහැ කියන්නෙ ඇයි?
මේ ප්‍රශ්නයට පිළිතුර මගේ අත්දැකීමකින්ම මම කියන්නම්. මට ගාල්ලේ නඩුවක් තිබුණා. ඒ නිසා මාව ගාල්ලේ අරගෙන ගියා. යනකොට අපිව පරීක්ෂා කළේ නැතත් ආයෙ වැලිකඩට දාන්න කලින් පරීක්ෂා කරනවා. එහෙම කරන්නේ බන්ධනාගාරයේ යකඩ දොරත් ලී දොරත් අතර කොටසෙදි. එකවර සීයක් දෙසීයක් විතර පරීක්ෂා කරනවා. හරිම කෲර විදියටයි පරීක්ෂා කරන්නේ. ඇඳුම් ගලවනවා. අධෝ මාර්ගය එයාලට පෙන්නන්න ඕන. තටමන්නත් ඕන. එහෙම කරවන්නේ බංකරයක් තියෙනවද බලන්න. බංකරයක් කියන්නේ ගුද මාර්ගයේ සඟවාගෙන යන්න පුළුවන් එක එක ද්‍රව්‍ය. ටෝච් එක ගහලත් බලනව. දවසක් මට පැය එකහමාරක් විතර වතුරත් නැතුව පෝලිමේ හිටගෙන ඉන්න වුණා. එක නිලධාරියෙක් මට පොල්ලකින් තට්ටුවක් දැම්මා. ගලවපිය, දාපිය වගේ දේවල් කිව්වා. මට කේන්ති ගියා. මම කිව්වා කතා කරන්න ඉගෙන ගන්න කියලා. මොකද මම නීතිඥයෙක්. යුද හමුදාවේ හිටපු මේජර් කෙනෙක්. ඔයිට වඩා ලොකු යුද්ධ කරලා තුවාල වුණ කෙනෙක්. මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක්. එයාලා කරන වැඩේ වැරදියි කිව්වා. මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් කිව්වා. පරීක්ෂා කරන්න ඕන නම් ස්කෑන් මැෂින් එකකින් කරන්න කිව්වා. එයාල කිව්වේ ඉහළින් එන නියෝගවලටයි එහෙම කරන්නේ කියලා. මම එයාලට ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුවත් කියලා දුන්නා. ඉහළින් දෙන නියෝගය වැරදි නම් එම නියෝගය ක්‍රියාත්මක කරන්න පහළ නිලධාරියා බැඳිලා නැහැ. එදා මට බඩු ටිකත් අරන් යන්න දුන්නා. හැබැයි ආයෙ ආයෙම සිද්ධ වුණේ ඔය දේමයි. එයාලත් එක්ක වාද කරලා වැඩක් නැහැ කියලා මම තේරුම් ගත්තා.
දවසක් මාත් එක්ක ගිය රැඳවූවෙක්ට මේ අය තටමන්න කියලා ගොඩක් වධ දුන්නා. එයාට වැසිකිළි ගියා. එයාට කිව්වා ඇඳගෙන හිටපු ෂර්ට් එකෙන් ඒක අරගෙන ඔතාගෙන ඇතුළට ගිහිල්ලා විසි කරන්න කියලා. කොච්චර කෲර වැඩක්ද. බන්ධනාගාර සිරකරුවෝ බන්ධා පොලිස් නිලධාරින් එක්ක පුදුම තරහකින් ඉන්නේ. සමහරදාට හිටපු ගමන් ෂෙල්වලට පනිනවා. පැය දෙක තුනකින් ඇතුළට ගියාම අපි දකින්නේ අපේ ඇඳුම්, කෑම ඔක්කොම බිම හැම තැනම දාලා විනාශ කරලා තියෙන විදිහයි. අපි කියන්නේ සුනාමියක් ආවා කියලා. හැබැයි හරිම වේදනයි. මොකද ඕපන් විසිට්වලදි කල් තියාගෙන කන්න අපි ගෙදරින් ගෙන්න ගන්න කෑම තමයි ඔහොම විසිකරන්නේ. හරිම කලාතුරකින් ඔහොම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.
වැලිකඩ බන්ධනාගාරයේ ස්කෑන් උපකරණ තිබුණේ නැද්ද?
නැහැ. එක සැරයක් තිබුණා. ඒව හරි ඉක්මනට කැඩෙනවා. මම දන්නෙ නෑ කොහොමද එච්චර ඉක්මනට කැඩෙන්නෙ කියලා. තිබුණ එකෙන් කළේ භාණ්ඩ පරීක්ෂා කිරීම විතරයි. මිනිස්සුන්ව බලන්නේ නැහැ.
අපි දන්නවා හැම බන්ධනාගාරයකම දුරකථන තියෙනවා. හැබැයි ගේට්ටුවෙන් එද්දි අපේ පස්සත් පරීක්ෂා කරනවා. ගංජා, දුම්කොළ, කුඩු මොකුත් අහුවෙන්නේ නැහැනේ. හැබැයි බන්ධනාගාරය ඇතුළේ මේ හැම දෙයක්ම තියෙනවා. බන්ධනාගාරය ඇතුළේ කුඩු එළියට වඩා ලාභයි. අපේ පස්ස බැලුවට නිලධාරීන්ගේ ඇඳුම් ගලවන්නේ නැහැනේ. එයාලගේ සාක්කු විතරක් බලනවා. සමහර බන්ධනාගාරවල නිලධාරීන් පරීක්ෂා කරන්නෙම නැහැ. ගාල්ල බන්ධනාගාරයෙ එහෙමයි. මම යද්දි ඒක දැක්කා. නිලධාරියට ඕනම දෙයක් අරන් යන්න පුළුවන්. අඟුණකොළපැලැස්සේ නම් නීති තදයි. නිලධාරීන් පරීක්ෂා කිරීම තීරණය වෙන්නේ අදාළ බන්ධනාගාරයේ අධිකාරීගෙ කැමැත්ත අනුවයි. එක නීතියක් නැහැ. හැම බන්ධනාගාරයකම බන්ධනාගාර පොලිසියේ අයත් නැහැ. ඒ නිසයි ෆෝන්, දුම්කොළ, මත්ද්‍රව්‍ය හැම දෙයක්ම බන්ධනාගාරේ තියෙන්නේ. කුඩුවලට කියලා අල්ලලා වැලිකඩට එවන එක බොරු වැඩක්. ඕන තරම් කුඩු ඇතුළෙ තියෙනවනෙ. අපරාදෙ බදු ගෙවන මිනිස්සු.
ඔබ කියන විදියට රැඳවූවන්ගේ වුවමනාවට බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගේන්නේ කවුද?
ඒකට ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මෝරු කිහිපදෙනෙක් බන්ධනාගාරෙ ඇතුළෙ ඉන්නවා. මෝරු කියන්නේ කුඩු විකුණන අයට. එයාලට වැඩි කොටස් යනවා. එයාලා ඇතුළෙදි මේව පොඩි කොටස්වලට කඩල බෙදනවා. කුඩු කෑලි කියන්නේ ඒවට. ඒව ගන්න රැඳවියෝ මුදලාලිගේ ඊසි කෑෂ් නම්බර් එකට මුදල් දාන්න ඕනේ. ගොඩක් වෙලාවට එහෙම මුදල් දාන්නේ එළියෙන්. නැත්නම් ෆෝන් එකේ තියනවනම් දානවා. බන්ධනාගාර නිලධාරියටත් මුදලාලි මුදල් ගෙවන්නේ ඊසි කෑෂ්වලින්. සමහර පවුල්වල නෝනයි මහත්තයයි දෙන්නම එකතුවෙලා ඇතුළෙ බිස්නස් එක කරනවා. එළියෙ විසිපන්දාහට තියෙන ෆෝන් ඇතුළෙ ලක්ෂයක් විතර වෙනවා. දුම්කොළයක් රුපියල් දෙදාහට විතර යනවා. දුම්කොළයත් පොඩි කෑලිවලට කපලා ඒකෙන් මූඩි හදනවා. මූඩි කියන්නෙ බෝතල් මූඩියකට දුම්කොළ පුරවපු එකක්. දුම්කොළ මූඩියක් ඇතුළෙ රුපියල් එක්දහස් පන්සීයක් විතර. දුම්කොළ මූඩියෙන් ලෝකල් හදනවා. ලෝකල් කියන්නේ දුම්කොළ කුඩු ටිකක් පත්තර කෑල්ලක ඔතලා හදන දෙයක්. මූඩියකින් ලෝකල් හදනව. උගුරු දෙකක් අදිනකොට ලෝකල් එක ඉවරයි.
බන්ධනාගාරය ඇතුළේ වැඩිපුරම තියෙන්නේ දුම්කොළ, මත්ද්‍රව්‍ය වගේ දේවල්ද?
නැහැ. සබන් එහෙම වැඩිපුරම බිස්නස් කරනවා. සබන් කියන්නේ බන්ධනාගාරය ඇතුළේ මුදල් ඒකකයක්. විසිට් එනකොට ගෙවල්වලින් සබන් ගෙනත් දෙනවා. සබන් කෑල්ලක් දුන්නාම ලෝකල් හයක් විතර ගන්න පුළුවන්. සබන් කෑලි 25ක් විතර දුන්නාම දුම්කොළ මූඩියක් ගන්න පුළුවන්. ලෝකල් දීලා හිර ගෙදර ගොඩක් වැඩ කරගන්න පුළුවන්. කුස්සිපාටියේ වැඩ කරන කෙනෙක්ට දුන්නොත් කුකුළු මස් කෑලි පහ හයක් හෝ මාළු කෑලි දෙකක් විතර ගෙන්න ගන්න පුළුවන්. කොණ්ඩෙ කපන්නත් ලෝකල් දෙන්න ඕනෑ. කොණ්ඩේ කපන්න තැනක් තිබුණත් හැමතිස්සේම නැහැනේ. ලෝකල් දෙනවනම් අපි ළඟටම බාබර් කෙනෙක් ගෙන්න ගන්න පුළුවන්. බාබර් ඇතුළෙම කෙනෙක්. සබන් නම් කෑලි දෙකක් විතර දෙන්න වෙනවා. ෆෝන් ගන්නවනම් සල්ලිම දෙන්න ඕන. පොඩි බට්න් ෆෝන් එකක් ඇතුළේ රුපියල් තිස්දාහක් විතර වෙනවා. චාජර් වෙනම ගන්න ඕන. හැබැයි එහෙම අරගෙනත් පහුවදා සර්ච් කළොත් ඒක නැතිවෙන්නන පුළුවන්. මේවා බිත්තියේ, පොළොවේ බංකර්වල හංගලයි තියාගන්නේ. ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්නකොට අහුවුණොත් නඩුවක් වැටෙනවා. ඒවා බන්ධ නඩු. එළියෙන් මහෙස්ත්‍රාත්වරයෙක් ඇවිත් නඩුව අහනවා. ඕනෑ නම් අපිට නීතිඥවරයෙක් අල්ල ගන්න පුළුවන්. වරද පිළිගත්තොත් දැනට තියෙන දඬුවමට අමතරව මාස තුනක හෝ හයක සිර දඬුවමක් එකතු වෙනවා.
සනීපාරක්ෂක ද්‍රව්‍ය බන්ධනාගාරයෙන් රැඳවූවන්ට ලැබෙන්නෙ නැද්ද?
මම බන්ධනාගාරයේ අවුරුදු තුනහමාරක් හිටියා. හැබැයි මට ඒ කාලයේදී ලැබුණේ සබන් කෑලි පහක් විතරයි. කිසිම කෙනෙක් නැතුව බන්ධනාගාරයට එන කෙනෙක් කොහොමද දත් මදින්නේ. එයාලට කරන්න තියෙන්නේ අතපාලා ඉල්ලන එක විතරයි. අපි සබන් පාවිච්චි කරලා පොත්තක් වුණාම එයාලා බලන් ඉඳලා ඒක ඉල්ලනවා. හරිම දුකයි. ගෙදරින් මට සබන් ගෙනාවම එහෙම කෙනකුට මම සබන් කෑල්ලක් දෙනවා. සමහරු එහෙමවත් දෙන්න කැමති නැහැ. එතකොට සිද්ධ වෙනවා පර වැඩ කරන්න. කාගේ හරි රෙදි හෝදන්න, කකුල් මසාජ් කරන්න, අතුගාල දෙන්න වෙනවා. සමහර වෙලාවට ලිංගික ශ්‍රමිකයෙක් වෙන්නත් වෙනවා.
රැඳවූවෝ කියන්නේ වෙල්ෆෙයා එකට බඩු එනවා හැබැයි ඒවා නිලධාරීන් අරගෙන යනවා කියලයි. අපිත් දකිනවා තොග පිටින් තියෙනවා. හැබැයි ඒවා රැඳවූවන්ට ලැබෙන්නේ නෑ.
මේ දවස්වල බන්ධනාගාරයේ තදබදය ගොඩක් වැඩියි නේද?
උසාවියෙන් අච්චු කරලා එන අයව මුලින්ම දාන්නේ අයි-ටූ කියලා වාට්ටුවකට. කීයක් ආවත් ඒකට ඔබනවා. ඒ හැරුණාම අඩි එකහමාරක වගේ ඉඩක් තමයි සිරකරුවෙක්ට ලැබෙන්නේ. මම වැඩිපුරම හිටියේ එම් වාට්ටුවේ. බිත්තිය අයිනේ. එතන පැදුරක් එළා ගන්න පුළුවන්. සීනියර් අයයි දාන්නෙ. අනිත් අය ඇඝේ ඇලි ඇලී නිදාගන්න ඕනේ. මරණ දඬුවම නියම වුණ අය ඉන්නෙ වෙනම. ඒ එක සෙල් එකක හතර දෙනෙක් ඉන්නව. මම දන්න තරමින් සුද්දා ඕව හදල තියෙන්නෙ එක සෙල් එකක් එක් කෙනෙකුට විදියට. ඒ කාලේ පයිප්ප තිබුණේ නැති නිසා, මුත්‍රා කරන්න, වැසිකිළි යන්න පෝච්චියක් තියෙන්නෙ. ඒක අයිති සෙල් එකේ ඉන්න සිරකරුවට. හවස පහමාර වෙද්දි සෙල් එක වහනවා. ආයෙ එළියට ගන්නේ උදේ හයට. වැසිකිළි යන්න ඕන ඇතුළේ. දැන් හතර දෙනෙක් ඉන්න නිසා මුත්‍රා කරන්න වෙන වෙනම ටින් හතරක් තියෙනවා. බඩේ අමාරුවක් හැදිලා වැසිකිළි යන්න වුණොත් ඉවරයි. අනිත් අයට පේනවා. නිදාගන්න වෙන්නෙත් නෑ. එයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස් වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලක්නේ. අන් අය ඉදිරියේ වැසිකිළියාමට සැලැස්වීම. අඩු තරමේ හෝදගන්නවත් විදියක් නැහැ. හදිසියේ බඩේ අමාරුවක් හැදුනොත් ඉවරයි. මට ඒ දේවෙලා තියෙනවා. මට මං ගැනම අනුකම්පාවක් ඇතිවුණා.
පැදුරු නැතිනම් බෙඩ් ෂීට් එකක් එළාගෙනයි නිදාගන්න වෙන්නේ. මගේම බෑග් එක තමයි කොට්ටෙ. කොච්චර අමාරුද කියනවනම් වාට්ටුවක නිදාගන්න එක්කෙනෙක්ගේ ඔළුවට අනිත් කෙනාගේ කකුල් දෙක තියෙන විදියට. ඒත් උඩු බැලි අතට ඉන්න බැහැ. පැත්තටයි ඉන්න වෙන්නෙ. වැරදිලා හරි වැසිකිළි යන්න රෑට නැගිට්ටොත් ආයෙ එද්දි තැන නැති වෙනවා. කොහොම හරි හිර කරගෙන එළිවෙනකන් ඉන්න වෙනවා. මම දන්න තරමින් මැගසින් එකේ වැසිකිළියෙත් ලීයක් දාගෙන රැඳවූවන් එළිවෙනකම් හිටගෙන ඉන්නවා. එක දවසක් රෑක මාව ගාල්ලෙ නඩුවකට අරන් ගිය වෙලාවක දැක්කා දෙවෙනි තට්ටුවට නගින්න තියෙන ලී පඩිපෙළක එක පඩියක තුන් දෙනෙක් ගානේ වාඩිවෙලා ඉන්නවා. එහෙම උඩටම හිටියා. ඒක තමයි එයාලගෙ නින්ද. සිරකරුවෝ මනුෂ්‍යයෝ කිව්වට ඇතුළේ එහෙම එකක් නැහැ. ගාල්ලෙ මතයක් තියෙනවා කුඩු නැතිනම් එයාලව පාලනය කරන්න බැහැ කියල. කුඩු ගහලා හිටගෙන හරි නිදාගන්නව. නැත්නම් එළිවෙනකල්හරි කතා කරකර ඉන්නව.
ඇතුළෙ වැසිකිළි තිබුණත් වතුර නැහැ. එළියෙ ටැංකියෙන් බකට් එකකටයි වතුර ගන්න තියෙන්නේ. හවස් වෙද්දි වාට්ටුව වහන නිසා වතුර ගන්න විදියක් නැහැ. හදිසියේ කාට හරි යන්න වුණොත් කරගන්න දෙයක් නැහැ. සමහරු හොරාට ගිහිල්ල වැඩේ කරගෙන සද්ද නැතුව එනව. ආයෙ උදේට යනකොට ඉවරයි. කොච්චර අමානුෂිකද. හැබැයි මුදල් තියෙන කෙනාට කොට්ට, මෙට්ට වුණත් ගෙන්න ගන්න පුළුවන්. සල්ලි තියෙන අයට මහත්තුරු සලකනවා. ලක්ෂ ගණන් මුදල් දෙන අයත් ඉන්නවා.
සිරකරුවන් අසනීප වුණාම බෙහෙත් දෙනවද?
වැලිකඩ තියෙනවා සර්ජරි කියල එකක්. උදේ අටහමාරට වගේ එතනට ඩොක්ටර් කෙනෙක් එනවා. ප්‍රශ්නය තියෙන්නේ එළියේදී බෙහෙත් දෙනවා වගේ පපුවට නළාව තියල බලන්නෙ නැහැ. සිරකාරයා ඉන්නෙ මීටර් තුනක් විතර ඈතින්. අසනීපය කිව්වාම බෙහෙත් ලියනවා. එච්චරයි. ප්‍රෙෂර් තියනව කිව්වට බලන්නේ නැහැ. බලන්නෙ නැතුව සතියකට විතර බෙහෙත් දෙනවා. ආයෙ ඊළඟ දවසේ ගියාම බෙහෙත් නැහැ. මට එහෙම වෙලා තියෙනවා. දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් තියෙන අයට බෙහෙත් නැති වුණාම අමාරු වෙනවා. එළියෙන් බෙහෙත් ගේන්නත් බෑ. සල්ලි තියෙනවනම් අමාරුවෙන් ගේන්න ගන්න පුළුවන්.
වෛද්‍ය සභාවෙන් මම ඉල්ලන්නේ සිරකාරයොන්ට මනුෂ්‍යත්වයෙන් සලකන්න කියලා වෛද්‍යවරුන්ට කියන්න. බන්ධනාගාර නිලධාරීන් මුදල් නැති සිරකරුවන්ට සලකන්නේ කොහොමද. අන්න ඒ වගේ තමයි වෛද්‍යවරුත් සිරකරුවන්ට සලකන්නේ. හැබැයි කලාතුරකින් හොඳ අයත් ඉන්නවා.
අසනීපයක් වුණොත් බන්ධනාගාර රෝහලට අරගෙන යනවා. එතනත් තදබදය. කොච්චර අමාරු වුණත් පොඩ්ඩක් අඩුවුණ ගමන් ටිකට් කපලා එවනවා. මහා ඉස්පිරිතාලේ ක්ලිනික් එකටත් අරගෙන යනවා. හැබැයි සර්ජරි එකකට නවත්වන්න කිව්වොත් කලාතුරකින් නවත්වන්නේ. ඒකට හේතුව ලෙඩෙක් ළඟ හිටියාම බන්ධනාගාර නිලධාරීන්ට බටා හම්බවෙන්නේ භාගයයි. ඒ නිසා එයාල කැමති නැහැ ලෙඩ්ඩු ළඟ ඉන්න. සිරකරුවෝ බස්වල අරන් යන්නයි එයාලා කැමති. එතකොට සම්පූර්ණයෙන් බටා එක ගෙවනවා.
සිරකරුවන්ට කෑම බීම හොඳට ලැබෙනවද?
උදේට සම්බෝලයි පානුයි. දවල්ට මාළුයි එළවළු දෙකක් එක්ක බත් හම්බවෙනවා. රෑට කුකුළුමස්, එළවළු දෙකක් එක්ක බත්. මාළු කෑල්ලක ග්‍රෑම් 54 ක් තියෙන්න ඕන වුණත් අපිට හම්බවෙන කෑල්ල ග්‍රෑම් විස්සක්වත් නෑ. ඒකට හේතුව කොටසක් නිලධාරීන්ගේ පවුල්වලට යන නිසයි. නිලධාරීන් ඇතුළට එනකොට හරියට පරීක්ෂා කරන්නෙ නැහැනෙ. එළියට යනකොට කොහොමවත් බලන්නේ නැහැ. දවල් කෑමට පෙර සිරකරුවන්ට හදන කෑම එකෙන් කොටසක් බන්ධනාගාර අධිකාරිට පරීක්ෂා කරන්න දෙන්න ඕන. හැබැයි එහෙම දෙන්නෙ රසට හදපු එකක්. එයාල දැන දැනම බොරුව කරන්නෙ.
සිරකරුවන් වැඩි වීම රටේ ආර්ථිකයටත් බලපානව නේද?
ඔව්. තාත්තා හිරේ ආවම අම්මයි දරුවන්වයි බලාගන්න අපේ රටේ කිසිම සැලැස්මක් නැහැ. ඒ අය කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්නෙ නැහැ. ඒ අයට ජීවත් වෙන්න මුදලක් දෙන්න ක්‍රමයක් නැහැ. ඒ දරු පවුල අනාථ වෙනවා. බිරිඳ කුලී වැඩක් හොයාගෙන යයි. පොඩි ළමයිගේ අධ්‍යාපනය මග නවතීවි. ළමයි අනාරක්ෂිතයි. අපරාධ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න පුළුවන්.
සිරකරුවන්ට මාසික වේතනයක් ලැබෙනවා නේද?
ආධුනිකයන්ට මාස හයක් යනකල් පඩියක් නැහැ. මාස හයේ ඉඳලා අවුරුද්දක් වෙනකල් රුපියලයි. එකයි පනහ, දෙක, ඊළඟට සුපර්වයිසර් දක්වා ඉහළම සුදුසුකම් ලබපු කෙනකුට රුපියල් දෙකයි පනහක්. සුද්දගෙ කාලෙ ගණන් තමයි තවමත් තියෙන්නේ. ඒ කාලේ ඔහොම මුදල් දුන්නම තමන්ටත් වියදම් කරලා ගෙදරටත් කීයක් හරි යවන්න පුළුවන්. ඒත් දැන් මෙහෙම ගෙවලා වැඩක් තියෙනවද. අඩුම තරම එහෙමවත් දැන් ගෙවන්නෙ නැහැ. මමත් අවුරුදු තුනක් විතර වැඩ කළා. නිදහස් වෙලා එනකොට මට රුපියලක්වත් හම්බ වුණේ නැහැ. ඒ මුදල්වලට මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නෑ.
කිහිප දෙනෙකුට විතරක් සැලකිය යුතු මුදලක් ලැබෙනවා. ඒ, බෑග් මහන අයටයි, කොයිල් ඔතන අයටයි. නිලධාරීන්ගේ පවා ඇඳුම් මහන අයට ලැබෙන්නෙත් රුපියල් එකයි පනහක් වගේ. හරිම අසාධාරණයි.
සිරකරුවන් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් බන්ධනාගාරය ඇතුළේ ක්‍රියාත්මක වෙනවද?
රඳවා ගැනීම, රැකබලා ගැනීම සහ නැවත සමාජගත කිරීමට පුනරුත්ථාපනය තමයි එයාලගෙ වගකීම. හැබැයි කිසිම විදියකින් පුනරුත්ථාපනයක් වෙන්නේ නැහැ. රඳවා ගැනීම විතරයි වෙන්නේ.
සිරකරුවන්ට සමාව දීමේ වැඩපිළිවෙළක් තියෙනවාද?
ඉස්සර තිබුණා. සිව් වස් සමාලෝචනය. සිරකරුවන් සමග සම්මුඛ සාකච්ඡා කරලා සමාජගත කරන්න පුළුවන්ද බලනවා. වරද ගැන පසුතැවෙනවද බලනවා. සමහරවෙලාවට දඬුවම් අඩු කරනවා. මරණ දඬුවම නියම කරපු අයවත් සිව්වස් සමාලෝචනයට ගත්තා. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳපු අයත් එළියට ගිහින් තියෙනවා. හැබැයි දැන් එහෙම වෙන්නෙ නැහැ. කවදාහරි මැරෙනකල් තියාගෙන ඉන්නවා. මම කියන්නෙ මැරෙනකල් සිරකරුවන් තියාගෙන ඉන්න එක අමානුෂිකයි. පුනරුත්ථාපනයක් වෙන්නෙ නැහැ.

