ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් මහා තරගයට
27 November 2026
ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් මහා තරගයට
27 November 2026
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය 'A' කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කළ පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම, තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව එක්වීමට සමත් විය.
දෝහා හි 'West End Park' ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ඉන්දීය 'A' කණ්ඩායම රැස් කළ ලකුණු 318ක ඉලක්කය, කඩුලු 2ක් පමණක් වැය කරමින් පන්දුවාර 41.3කදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි විය.
ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ලසිත් කෘෘස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන, පළමු කඩුල්ල සඳහා ලකුණු 174ක සවිමත් සබඳතාවක් පැවැත්වූහ.
ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ සිනෙත්, හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමග පන්දු 70කින් වේගවත් ලකුණු 105ක් වාර්තා කළේය.
සිනෙත් දැවී යෑමෙන් පසු ඉනිම ඉදිරියට රැගෙන ගිය ලසිත් කෘෘස්පුල්ලේ, 35 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 265 දක්වා ඉහළ දැමීය.
හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් සිය ඉනිම හැඩ කළ කෘෘස්පුල්ලේ, ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවසන් කඩුල්ල ලෙස ලකුණු 116කට දැවී ගියේය.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක පවන් රත්නායක සහ නිශාන් මධුෂ්ක, තරගයේ ජය තහවුරු කරන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
එහිදී නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර, නායක පවන් රත්නායක පන්දු 16කින් වේගවත් ලකුණු 31ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වේගවත් කළේය.
මූලික වටයේදී පාකිස්තානය හමුවේ ද පරාජය වූ ඉන්දීය 'A' කණ්ඩායමට මෙම පරාජයත් සමග තරගාවලියෙන් සමුගැනීමට සිදු වූ අතර, තරගාවලියේ කිසිදු තරගයක් පරාජය නොවී ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.


