brand logo
logo
දෙරණ සහ අරුණ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් ජාතික යෞවන ක්‍රීඩා උළෙල හෙටින් ඇරැඹේ

දෙරණ සහ අරුණ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් ජාතික යෞවන ක්‍රීඩා උළෙල හෙටින් ඇරැඹේ

29 October 2026

ග්‍රාමීය මට්ටමේ සිට ජාතික ක්‍රීඩා පිටිය දක්වා දක්ෂතා රැගෙන එන 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල හෙට (30 වැනිදා) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.


ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික වශයෙන් අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන තරගාවලියේ මැරතන් තරගය සහ සියලු කණ්ඩායම් තරග මේ වන විට අවසන් කර ඇති අතර පිහිනුම් තරගවලදී නව වාර්තා 21ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනුණි. හෙට පස්වරු 3ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයට සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු ආරාධිතයන් එක්වීමට නියමිතය.


තෙදිනක් පුරා පැවැත්වෙන තරග අවසානයේ එළැඹෙන නොවැම්බර් පළමුවැනිදා පස්වරු 4ට පැවැත්වීමට සැලසුම්කර තිබෙන සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරන ක්‍රීඩා උළෙල සඳහා ටී.වී දෙරණ, එෆ්.එම්. දෙරණ සහ අරුණ පුවත්පත විසින් පූර්ණ මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය ලබා දෙනු ලැබේ.

 

More News..