Best News Website award
brand logo
logo
දියවන්නාවේදී ඉම්රාන් කැපේ

දියවන්නාවේදී ඉම්රාන් කැපේ

21 November 2026 | රෂ්නිකා ලියනගේ

පාකිස්තානයේ ක්‍රිකට් ගැන කතා කරද්දී ශ්‍රී ලාංකිකයන්ගේ මතකයට එන නම් ලැයිස්තුවේ ඉම්රාන් ඛාන් ඉහළින්ම සිටී. ඒ, ඔහු පාකිස්තානයේ ක්‍රිකට් ඔසවා තැබූ ආකාරයටත් වඩා ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී වූ නිසාය. එනිසාම මේ සති අන්තයේ දී ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද ඉඩක් මුලින් වෙන්විය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ අජිත් පී. පෙරේරාගේ පෞද්ගලික යෝජනාවකට අනුවසභාව කල් තැබීමේ විවාදයකටය.


“ඉම්රාන් ඛාන් කියන්නේ ශ්‍රී ලංකාවේ මිත්‍රයෙක්. එක්දාස් නවසිය අනූ හයේ ක්‍රිකට් ලෝක කුසලානයට ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට එන්න බෑ කියද්දී ඉන්දීය - පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහය දක්වන්න මෙහෙ ආවා. ඒකට ඉම්රාන් සෙල්ලම් නොකළට එයා උදව් කළා. හැම වෙලාවකම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලටත්, රටටත් එයා උදව් කරලා තියෙනවා. අපි මෙතැනදී සලකන්නේ එයා වරදක් කරලා තියෙනවද කියන එක නෙමේ. නෛතික කටයුතු කෙරෙන අතර මානුෂීය කාරණා මත පදනම්ව ඔහුට සලකන්න කියන ඉල්ලීමයි අපි කරන්නෙ. මේ වෙද්දීත් ඔහුගේ ඇසක පෙනීම අහිමි වී ඇති බව දැනගන්න තියෙනවා. ක්‍රිකට් නායකයන් ඔහු වෙනුවෙන් ලිපියක් යොමු කළ වෙලාවෙ තමයි මම මගේ පළමුවෙනි මෝෂන් එක දැම්මෙ. ඒත්, ඒ වෙලාවේ ඒක ඩිබෙට් කරගන්න පාර්ලිමේන්තුවේ වෙලාව ගන්න මට බැරිවුණා. ඔහු නැවතත් එරට අගවිනිසුරු වෙත යොමු කළ ඉල්ලීම අනුව තමයි මම ආයෙමත් මේක මතු කරන්න ඕනෙ කියලා හිතුවෙ. නමුත් රජය සිකුරාදා සවස මගේ යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් කරලා’’ මන්ත්‍රිවරයා කීවේය. ඔහු නගන චෝදනාවට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරවින්ද කුමාර් කීවේ මන්ත්‍රිවරයාට පෞද්ගලිකව අදහස් දැක්විය හැකි නමුත් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නිසා ප්‍රශ්න සහගත තරුණු කතා කිරීමට ඉඩ වෙන් කිරීමට රජයට නොහැකි බවය.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි ඉම්රාන් ඛාන් සිරගතව සිටින්නේ 2023 වසරේ අගෝස්තු මාසයේ සිටයි. දූෂණය සහ ඒ හා බැඳුණු තවත් චෝදනා සියයකට අධික සංඛ්‍යාවකට ඔහු මුහුණ දී සිටී. ඔහුගේ බිරිය බුෂ්රා බිබි ද පසුගිය වසරේ සිරගත කරන ලදී. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් පෙන්වා දෙන්නේ මේ චෝදනා දේශපාලනික බවයි.


“මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකිවන්නේ මා ජීවතුන් අතර සිටියොත් පමණයි.”

ජයග්‍රහණය තෙක් සටන අත් නොහැරීමේ පුරුද්ද ඇති ඉම්රාන් ඛාන් කියයි.

පාකිස්තානය දිනූ පළමු සහ එකම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට කණ්ඩායම මෙහෙයවූ නියමුවා ඔහුය. එහෙත් අද ඔහුට දිනයේ වැඩි වේලාවක්, එනම් පැය විසි දෙකක් පමණ ගෙවීමට සිදුව ඇත්තේ හුදකලා සිර කුටියකයි. එමෙන්ම සිය රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීමට විවිධ පියවර ගත් ඉම්රාන්ට අද වෙද්දී තම ප්‍රතිකාර වෙනුවෙන් ආයාචනා කිරීමට සිදුව තිබේ.

ක්‍රීඩාවේ සුන්දරත්වය, සහෝදරත්වය පිළිබිඹු කරමින් ලොව විවිධ රටවල ක්‍රිකට් නායකයෝ ද ඉම්රාන් ඛාන් වෙනුවෙන් ඉල්ලීම් කළහ. පසුගිය අගෝස්තුවේ ඔවුහු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කළහ. ක්ලයිව් ලොයිඩ්, ඇලන් බෝඩර්, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ඩේවිඩ් ගවර්, ජෝන් රයිට් ආදීහු ඊට එක්වූහ. විශේෂත්වය වන්නේ ක්‍රීඩා පිටියේ දී පාකිස්තානයේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඉන්දියාවේ හිටපු නායකයන් තිදෙනකු ද ඊට සම්බන්ධ වීමයි. ඒ, කපිල් දේව්, සුනිල් ගවස්කාර් සහ දිලිප් වෙන්ග්සාකර් ය. ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග ද ලිපියට අත්සන් තැබීය. අර්ජුනට ද ඉම්රාන් සමග ඇත්තේ විශේෂ සබඳතාවකි. 1996 ලෝක කුසලානය අවසන් මහ තරගය පාකිස්තානයේ ලාහෝරයේ පැවති අවස්ථාවේ ද ඉම්රාන් ලෝක ශූරතාව දිනූ නායකයකු සේම හිතවත් අසල්වැසියකු ලෙස අර්ජුන හමුවූයේ ය. අගමැති වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ද ඉම්රාන් අර්ජුන හමු වී තිබේ. ඊට පෙර පසුගිය පෙබරවාරියේ දී ක්‍රිකට් නායකයන් 14 දෙනකුගේ අත්සනින් යුතුව ලිපියක් ඉදිරිපත් කෙරුණ ද ඊට නිසි ප්‍රතිචාර හිමිවූයේ නැත. දෙවන වතාවටත් ඔවුන් තවත් අය එකතු කරගනිමින් ලිපියක් යොමු කළේ ඒ අනුවයි.

කෙසේ වුව ද පාකිස්තාන අධිකරණයේ නියෝග අනුව රජය ක්‍රියා නොකරන බවට විටින් විට චෝදනා එල්ල වෙයි. බන්ධනාගායේ දී ඉම්රාන් ඛාන් වධ හිංසාවට ලක්වන බවට සහ ඔහුගේ අයිතිවාසිකම් කප්පාදු වන බවට ද තොරතුරු වාර්තා විය. අධිකරණ නියෝග නොතකා හරිමින් ඉම්රාන්ට නුසුදුසු ලෙස සලකන බවට ද පාකිස්තාන රජයට චෝදනා එල්ල වූයේ කාලයක සිටයි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින්නේයැයි පසුගිය කාලයේ දිගින් දිගටම තොරුතුරු වාර්තා විය. එහෙත් පාකිස්තාන රජය චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ ඉම්රාන් ඛාන් හිටපු අගමැතිවරයාට අවශ්‍ය පහසුකම් සපයන බවයි.

පාකිස්තාන රජයේ ප්‍රකාශ එසේ වෙද්දී පසුගිය නොවැම්බර් 11 වනදා අඩියාලා බන්ධනාගාරයේදී ඉම්රාන් හමුවූ ඔහුගේ නීතිඥ සල්මන් සෆ්දාර් ඉම්රාන්ගේ උපදෙස් පරිදි ලිපියක් සැකසීය. ඒ, ඉහළ විනිසුරන්ගෙන් මානුෂීය මැදිහත්වීමක් ඉල්ලමිනි. තමාට පණ පිටින් බන්ධනාගාරයෙන් පිටවීමට ඉඩ නොලැබෙනු ඇතැයි ඉම්රාන් ඛාන් එම ලිපියෙන් අනතුරු අඟවා ඇත.

“මම කවදාවත් වෛද්‍ය හේතු මත සහනයක් ඉල්ලා නෑ. අසනීප තත්ත්ව උපක්‍රමයක් ලෙස පාවිච්චි කරලත් නෑ. මම නඩු ගණනාවකදී දුෂ්කර නීතිමය සටන් කරලා තියෙනවා. මං තවමත් නතර වෙලා නෑ. ඒත්, පද්ධතිය මට යුක්තිය ඉටු කිරීම නවතා දමා තියෙනවා.”

යනුවෙන් ඉම්රාන් සඳහන් කර තිබේ. මේ අතර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රධානී, වෝල්කර් ටර්ක් ද ඉම්රාන් ඛාන් සම්බන්ධව අදහස් දැක්වීය. ඒ, CNN මාධ්‍ය ජාලයේ ක්‍රිස්ටියන් අමන්පූර් සමග සංවාදයකට එක්වෙමිනි.

“ඔහුගේ සිද්ධිය සම්බන්ධව මං විවිධ මට්ටම්වලින් මැදිහත් වුණා. මට ඒ ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන්. මං ඉල්ලන්නේ ඔහුව නිදහස් කරන්න කියලා. ඔහුට නිසි ලෙස සලකන ලෙසත්, තත්ත්වය උත්සන්නවීම වළකන ලෙසත් මම ඉල්ලනවා. පාකිස්තාන බලධාරීන් ජාත්‍යන්තර නීති ප්‍රමිතීන්ට ගරු කළ යුතුයි. ඒකට පුළුල් පසුබිමක් තියෙනවා. මේක එක් ප්‍රධාන සිදුවීමක් විතරක් නෙමේ. මාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් මේ විදියට අත්තනෝමතිකව රඳවා ගැනීමේ දේවල් වෙමින් තියෙනවා.”

ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස වෝල්කර් ටර්ක් කළ ඉල්ලීම ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇති අතර තවත් ජාත්‍යන්තර සංවිධාන ඉම්රාන් වෙනුවෙන් හඬ නගමින් සිටියි.

ක්‍රිකට් නායකයකු සේම හිටපු අග්‍රාමාත්‍යවරයකු ලෙස ඉම්රාන් ඛාන් වෙත ලොව පුරා විවිධ පාර්ශ්වවල අවධානය ලැබී ඇත. එනිසා පාකිස්තාන රජයට එය සුළුවෙන් බැහැර කළ නොහැක. ජාත්‍යන්තර සංවිධාන සහ මාධ්‍ය, අසල්වැසි ඉන්දියාවේ මාධ්‍ය සේම, ශ්‍රී ලංකාවේ මාධ්‍ය සියල්ලම පාහේ ඔහු ගැන වාර්තා කරයි. ඉම්රාන් ඛාන් සම්බන්ධව පාකිස්තාන රජය ක්‍රියා කරන ආකාරය ගැන ඒ සැවොම සිටින්නේ අවදියෙනි.


 

More News..