වැඩි මිලට වතුර වික්ක හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්
24 September 2026
වැඩි මිලට වතුර වික්ක හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්
24 September 2026
නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී මෙම අක්‍රමිකතාව අනාවරණය වී ඇති අතර, අදාළ නඩුව ඊයේ (23) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි.
අංක 18, දුම්රියපොළ පාර, ඇල්ල යන ස්ථානයේ පිහිටි පුද්ගලික ආයතනක සිදුකළ වැටලීමේදී, එවකට ක්‍රියාත්මක වූ 2025 අප්‍රේල් 01 වනදා නිකුත් කළ අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1ක පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් ලෙස නියම කර තිබියදී, එය රුපියල් 200කට අලෙවි කර තිබෙන බව අනාවරණය වී තිබුණි.
අදාළ නඩුවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1,000,000ක දඩයක් නියම කර ඇත.
කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළ රුපියල් 100ක මිල වර්තමාන උපරිම සිල්ලර මිල නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
දැනට ක්‍රියාත්මක 2026 ජුනි 10 වනදා නිකුත් කළ අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් මෙසේයි.
මිලිලීටර් 500ත් 999ත් අතර බෝතලයක් රුපියල් 80ක්ද, ලීටර් 1ත් 1.499ත් අතර බෝතලයක් රුපියල් 120ක්ද, ලීටර් 1.5ත් 1.999ත් අතර බෝතලයක් රුපියල් 150ක්ද, ලීටර් 2ත් 2.499ත් අතර බෝතලයක් රුපියල් 180ක්ද, ලීටර් 5ත් 6.999ත් අතර බෝතලයක් රුපියල් 400ක්ද ලෙස මිල නියම කර තිබේ.
ඒ අනුව ලීටර් 1ත් 1.499ත් අතර පානීය ජල බෝතලයක වර්තමාන උපරිම සිල්ලර මිල රුපියල් 120කි.
බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී බෝතලයේ ප්‍රමාණයට අදාළ වර්තමාන උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත්, අය කළ මුදල තහවුරු කර ගැනීම සඳහා බිල්පතක් ලබාගන්නා ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම සංචාරක හෝටල්, ආපනශාලා, කැෆේ, නිකේතන ඇතුළු සියලුම වෙළෙඳ ආයතන නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීමෙන් වළකින ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.
සංචාරක ප්‍රදේශයක හෝ වෙනත් ස්ථානයක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අය කිරීමට අවසරයක් නොවන බවද එම අධිකාරිය අවධාරණය කරයි.
උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම ඇතුළු වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකියි.

