brand logo
logo
කජ්ජා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අචිනිගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

කජ්ජා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අචිනිගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

27 October 2026

අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අනූෂා ලක්මාලි නොහොත් අචිනි නම් කාන්තාව අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


ඒ ඇයව ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවය.


අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා හා ඔහුගේ දරු දෙදෙනා පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා වෙඩිතබා ඝාතනය කෙරුණි


ඝාතනය සම්බන්ධයෙන් බැකෝ සමන් නැමැත්තාට චෝදනා එල්ලවූ අතර ඔහු මේවන විට වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි.


ඝාතනයෙන් පසුව කජ්ජාගේ දුරකතන දත්ත වාර්තාකිරීමේදී හෙළිවී ඇත්තේ, 34 හැවිරිදි අනූෂා ලක්මාලි නොහොත් අචිනි නම් කාන්තාවක් ඔහුට අවසන්වරට දුරකතන ඇමතුම් ලබාදී ඇති බවය.


ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකළ අතර එහීදී ඇය විදේශගතව ඇති බවට හෙළිවී තිබුණි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අදාළ කාන්තාවට රතු වරෙන්තුවක් නිකුත්කරනු ලැබීය.


එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාව ඉකුත් අගෝස්තු 30 වැනිදා ඩුබායි හී සාජා නුවර සිට මෙරටට පැමිණීමට යෑමේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.


ඒ අනුව ඇයව අද දිනයේදී මෙරටට පිටුවහල් කළ අතර එලෙස පැමිණි ඇයව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


කජ්ජා ඝාතනය වූ දින උදෑසන තමන් ඔහුව හමුවූ බවත් ඔහු සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත්, එහිදී ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.


කජ්ජා ඝාතනය කිරීම සඳහා බැකෝ සමන්ගේ උපදෙස්මත තමන් ඔහුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසළට දුරකථන ඇමතුමක් ලබාදී කැඳවූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ හෙළි කළ බව වාර්තා වේ.


ඝාතනයෙන් පසුව තමන් පිළිබඳව හෙළිවීමත් සමග ඉකුත් 2025 මාර්තු දෙවැනිදා තමන් ගුවන්ගමන් බලපත්‍රය සකසාගෙන මාර්තු පස්වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරට පලාගිය බවත් අනතුරුව මැලේසියාවට ගොස් ඩුබායි රාජ්‍යයට ගිය බවත් ඇය පවසා ඇත.


ඒ අතර දිගින්දිගටම පොලිසිය මෙරට පිහිටි ඇයගේ නිවසට ගොස් විමර්ශන සිදුකර ඇති අතර ඒ හේතුවෙන් මෙරටට පැමිණ සිද්ධිය සමථයට පත්කරගන්නැයි ඇගේ මව බලපෑම් කළ බවද ඇය අනාවරණ කර තිබේ.


උද්ගත වූ තත්ත්වය මත අනූෂා ලක්මාලි අගෝස්තු 30වනදා මෙරටට පැමිණීමට සාජාහී ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව ඇත.


අනතුරුව ඇයව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත අද රැගෙන එනු ලැබීය.

 

More News..